ජාතික ජන බලවේගය (NPP) රජය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අක්කර 15,000ක භූමි භාගයක් පුරා විහිදුණු දැවැන්ත කර්මාන්තපුරයක් සහ කලාපීය ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සියලු සැලසුම් සකස් කර තිබේ. මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය සඳහා මේ වන විටත් ඇමරිකානු ඩොලර් බිලියන තුනක (USD 3 Billion) දැවැන්ත ආයෝජනයන් දැනටමත් තහවුරු වී ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි. කන්තලේ ප්‍රදේශයේ පවතින අතිවිශාල රාජ්‍ය ඉඩම් සහ ස්වාභාවික සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව ප්‍රයෝජනයට ගනිමින්, මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වන පරිදි මෙම නව කාර්මික කලාපය නිර්මාණය කිරීමට පියවර ගැනේ.
මෙම කර්මාන්තපුර ව්‍යාපෘතිය හරහා කෘෂිකර්මාන්තය, නවීන නිෂ්පාදන ක්ෂේත්‍ර, තාක්ෂණික හුවමාරු සහ බලශක්ති උත්පාදනය එකම කලාපයක් තුළ ඒකාබද්ධ කිරීමට නියමිතය. මෙම දැවැන්ත සංවර්ධන පියවරත් සමඟ කන්තලේ සහ සමස්ත නැගෙනහිර පළාතේම තරුණ තරුණියන් සඳහා සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා දසදහස් ගණනක් අලුතින් බිහිවන අතර, ප්‍රදේශයේ ව්‍යවසායකයන්ට සහ කෘෂිකාර්මික ප්‍රජාවට සිය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත සෘජුවම අපනයනය කිරීමේ අවස්ථාවද උදාවනු ඇත. දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් සහ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම කන්තලේ කර්මාන්තපුරය ඉදිරි කාලය තුළ මෙරට කාර්මික ඉතිහාසයේ දැවැන්තම ආයෝජන කලාපය බවට පත්වනු ඇත.
















