NSBM හරිත සරසවියේ (NSBM Green University) කීර්තිනාමයට හානි වන අන්දමින් අසත්‍ය සහ අපහාසාත්මක තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයන් පිරිසකට, එම ආයතනයට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.
අදාළ ආයතනය විසින් ගොනු කරන ලද නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත. සමාජ මාධ්‍ය සහ විවිධ වේදිකා ඔස්සේ සරසවියේ පාලනාධිකාරිය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හරහා ආයතනයේ ව්‍යාපාරික කීර්තිනාමයට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවගේ විශ්වාසයට දැඩි බලපෑමක් සිදුව ඇති බව අධිකරණයේදී කරුණු තහවුරු වී තිබේ.
මෙම නඩු තීන්දුව හරහා අධිකරණය අවධාරණය කර ඇත්තේ, අසත්‍ය තොරතුරු සමාජගත කර පුද්ගලයන් හෝ ආයතන අපහසුතාවයට පත් කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගත හැකි බවයි. NSBM හරිත සරසවිය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන බැවින්, එවැනි ආයතනයකට සිදුවන අපහාසය සමස්ත අධ්‍යාපන පද්ධතියටම බලපාන කරුණක් බව ද මෙහිදී අවධානයට ලක්විය.














