ඉරානයට එල්ල කර ඇති නාවික අවහිරතා සහ ලෙබනනයේ ප්‍රහාර තීව්‍ර කිරීම සඳහා ඊශ්‍රායලයට ලබා දී ඇති අනුමැතිය හේතුවෙන්, මැද පෙරදිග පවතින ඇමරිකානු කඳවුරු සහ ඊශ්‍රායල දේපළ නීත්‍යානුකූල ඉලක්ක බවට පත් වී ඇති බව ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් කලිබාෆ් පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ සිය ‘X’ ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමිනි.
ඉරානයේ සහචර සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානයේ බලකොටුවක් ලෙස සැලකෙන ලෙබනනයේ අගනුවර වන බීරූට් නගරයේ දකුණු දිග තදාසන්න ප්‍රදේශවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසු මෙම තර්ජනය නිකුත් විය.
“ඔවුන් සටන් විරාමයකට කැපවී සිටින්නේවත් සංවාදයක් විශ්වාස කරන්නේවත් නැහැ. නාවික අවහිරතා සහ ලෙබනනය සම්බන්ධ ගිවිසුම් උල්ලංඝනය කිරීම් හරහා ඔවුන් පෙන්නුම් කර ඇත්තේ ඔවුන් තේරුම් ගන්නේ බලයේ භාෂාව පමණක් බවයි,” යනුවෙන් කලිබාෆ් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රකාශය මැද පෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කරන බව පෙනී යයි. ඊශ්‍රායල-ලෙබනන් දේශසීමා ආශ්‍රිතව පවතින ගැටුම් මෙන්ම, ඇමරිකාව සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ යුදමය නොසන්සුන්තාවයන් මේ හරහා තවදුරටත් පැහැදිලි වේ.
















