ශ්රී ලංකාවේ ආයෝජනය කරන බව පවසමින් රුපියල් කෝටි දෙකහමාරක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති නඩුවක සාක්ෂි ලබාදීම සඳහා ඕස්ට්රේලියාවේ සිට පැමිණි විදේශීය ජාතික කාන්තාවකට, අධිකරණ භාෂා පරිවර්තකයෙකු නොමැතිවීම හේතුවෙන් සාක්ෂි ලබාදීමට නොහැකි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය මහාධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩුව ඔක්තෝබර් 14 වැනිදා කැඳවූ අවස්ථාවේදී මෙම තත්ත්වය ඇතිව තිබේ.
නඩුවේ පළමු සාක්ෂිකාරිය වන මෙලෙයිසා එඩ්වර්ඩ් නමැති ඕස්ට්රේලියානු ජාතික කාන්තාව අධිකරණය හමුවේ පෙනී සිටියද, මීට පෙර අධිකරණය නියෝග කර තිබූ පරිදි භාෂා පරිවර්තකයෙකු පැමිණ නොසිටීම හේතුවෙන් ඇයගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නොහැකි වී ඇත.
මීට පෙර ජූනි 17 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී, සාක්ෂිකාරියගෙන් සාක්ෂි විමසීම සඳහා හැටන් අධිකරණ කලාපයෙන් භාෂා පරිවර්තකයෙකු කැඳවන ලෙස නුවරඑළිය මහාධිකරණ විනිසුරු දමින්ද රාමනායක මහතා අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කර තිබුණි.
කෙසේ වෙතත්, පරිවර්තකයෙකු නොපැමිණීම හේතුවෙන් නඩුව නොවැම්බර් 10 වැනිදාට කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර තිබේ. එදින සාක්ෂිකාරිය අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදිය යුතු බවටත්, අවශ්ය භාෂා පරිවර්තකයෙකු ගෙන්වා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුවත් කර පියවර ගන්නා ලෙසත් නියෝග කර ඇත.
නඩුවේ විත්තිකරු ලෙස නිශාන්ත චූලන් තල්පගේ නමැත්තා නම් කර තිබේ. නොවැම්බර් 10 වැනිදා නඩුව යළි කැඳවන තෙක් ශ්රී ලංකාව තුළ රැඳී සිටීමට සාක්ෂිකාරිය තීරණය කර ඇති බවද වාර්තා වේ.













