නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. සභාව ආරම්භයේදීම මහ නගර සභාවේ සිදුවූ බව පැවසෙන ඉන්ධන මූල්‍ය වංචාව සහ මාධ්‍ය හරහා පළවන පුවත් පිළිබඳව දැඩි සංවාදයක් ඇති විය.
මහ නගර සභාවේ කීර්ති නාමයට හානිවන අයුරින් පදනම් විරහිත ප්‍රකාශ මාධ්‍යයට ලබා දීම නගරාධිපතිවරයා විසින් හෙළා දුටු අතර, එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා ඉන්ධන වංචාව පිළිබඳ දත්ත සහිතව කරුණු ඉදිරිපත් කළේය. එහිදී සිදු වූ වංචාව පිළිගත් නගරාධිපතිවරයා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට එකඟ විය. මීට අමතරව, අනුමැතියකින් තොරව පදික වේදිකාවේ කඩ සාප්පු ඉදි කිරීම සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
නියෝජ්‍ය නගරාධිපති සිවන් ජෝති යෝගරාජා මහතා සභාවේ ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් ප්‍රකාශ කළේ, මාධ්‍ය විසින් අනාවරණය කරනු ලබන කරුණු බොහොමයක් සත්‍ය බවයි. සතිපොළ ගැටලු, වීදි ලාම්පු ප්‍රශ්න, කැඩුණු පාලම් සහ ගොල්ෆ් ක්‍රීඩාංගණයේ ගස් විනාශ කිරීම් වැනි කරුණු සම්බන්ධයෙන් නගර සභාව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ඔහු විවේචනය කළේය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන ජූඩ් චන්දන මැදගම, මහේස් රත්නසේකර, රංජිත් ද මැල්, මොහොමඩ් නවාස් සහ බුද්ධික ගුණසේන යන මහත්වරුන් ද සභාවේදී අදහස් දැක්වීය. ඉන්ධන වංචාව සංවර්ධන කටයුතු අතරතුර සිදු වූ අත්වැරදීමක් බව මන්ත්‍රී මහේස් රත්නසේකර මහතා පැවසීය. කසල කළමනාකරණය පිළිබඳ උපදෙස් දීමේදී නගර සභා සේවකයෙකු තමාට “උඹට අවුරුදු තුනයි, මට 25ක් තියෙනවා” යනුවෙන් පවසා තර්ජනය කළ බව මන්ත්‍රී රංජිත් ද මැල් මහතා හෙළි කළේය. මීට අමතරව සේවක විනය සහ රාජකාරී ඉටු කිරීමේ මන්දගාමීත්වය පිළිබඳව ද මන්ත්‍රීවරුන් විසින් කරුණු මතු කරන ලදී.
සභාවේ අදහස් පළ කළ මන්ත්‍රීවරුන් අවසානයේ එකඟ වූයේ, මසකට වරක් යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා රැස්වීමක් පවත්වා, මහජන සේවාවන් විධිමත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.
















