ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට එරෙහිව තවදුරටත් දැඩි ප්‍රහාර මාලාවක් අද දිනත් ක්‍රියාත්මක කරන බවයි. ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “අපි ඊයේ ඔවුන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළා, අදත් අපි එය එලෙසම සිදු කරනවා” යනුවෙනි.
ඇමරිකානු හමුදාව විසින් ඉරානය තුළ ඇති “ඉලක්ක කිහිපයක්” ඉලක්ක කර ගනිමින් බදාදා රාත්‍රියේ සිට ප්‍රහාර ආරම්භ කර ඇති බව ඇමරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (CENTCOM) තහවුරු කරයි. ඉරානයේ නොනැවතී පවතින ආක්‍රමණශීලී ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කර ඇති බව ඔවුන් පවසයි. පසුගිය අඟහරුවාදා ද ඇමරිකානු හමුදා ප්‍රහාර ඉරානය ඉලක්ක කර ගනිමින් දියත් විය. ඒ ඇමරිකානු හමුදා හෙලිකොප්ටරයක් ඉරානය විසින් බිම හෙළීම හේතුවෙනි. මෙයට ප්‍රතිචාර ලෙස කලාපයේ පවතින ඇමරිකානු කඳවුරුවලට ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් ප්‍රහාර එල්ල කර ඇත.
ඉරාන ජනාධිපති මසුඩ් පෙෂෙෂ්කියන් සිය ‘X’ ගිණුම ඔස්සේ පවසන්නේ, ඉරානය ඕනෑම පීඩනයකට හෝ තර්ජනයකට එරෙහිව දැඩිව නැගී සිටින බවයි. එසේම ඇමරිකාව ප්‍රතිවිරෝධී පණිවිඩ නිකුත් කරමින් සහ සටන් විරාමය උල්ලංඝනය කරමින් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියට හානි පමුණුවන බවට ඉරාන විදේශ අමාත්‍යාංශය චෝදනා කරයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් නැවත වරක් ඉරානයට අවධාරණය කරන්නේ ඉක්මනින් ගිවිසුමකට අත්සන් තබන ලෙසයි. “ඔවුන්ට ඉතා වාසිදායක විය හැකි ගිවිසුමක් සාකච්ඡා කිරීමට ඔවුන් වැඩි කාලයක් ගත්තා, දැන් ඔවුන්ට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති” බව ද ඔහු ප්‍රකාශ කළේය. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද මාධ්‍ය වෙත පවසමින් කියා සිටියේ ඉරානයේ ප්‍රධාන පහසුකම් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙළීම සිදු කරන බවයි.
















