නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිතර සිදුවන ජල ගැලීම් සහ ආපදා තත්ත්වයන්ට ස්ථිර විසඳුම් සෙවීම සඳහා අදාළ ආයතන නියෝජනය කරමින් විශේෂ කමිටුවක් පත් කර ඇති බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව ලබා දෙන ලෙස නියෝග කර ඇත. සෑම වැසි සමයකම එකම ප්‍රදේශවල ගංවතුර ඇති වන බැවින්, මෙම ගැටලුවට කඩිනමින් ස්ථිර විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා මෙහිදී පෙන්වා දී තිබේ.
මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කලේයි චෙල්වි, අනුෂ්කා තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.














