27 April 2024
#ව්‍යාපාර

වික්‍රමාරච්චි ඔප්ටීෂන්ස් සහ හවුල්කරුවන් වෙතින් NVQ මට්ටමේ අක්ෂි පරීක්ෂක පාඨමාලා

ජේ. එම්. වික්‍රමාරච්චි ඔප්ටීෂන්ස් සමාගම , Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සහ Delegation of German Industry and Commerce in Sri Lanka (AHK Sri Lanka) සමග එක්වී NVQ මට්ටමේ අක්ෂි පරීක්ෂක පාඨමාලා දෙකක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙහි Ophthalmic Technician පාඨමාලාව (NVQ 3 වන මට්ටම) හැදෑරීම සඳහා 15 දෙනෙකුද, Optometrist (NVQ 5 වන මට්ටම) පාඨමාලාව හැදෑරීම සඳහා 31 දෙනෙකුද තෝරාගෙන ඇති අතර, මේ සියලු දෙනා ශ්‍රවණාබාධ සහිත අය වීම විශේෂත්වයකි. මෙම පාඨමාලා සාර්ථකව නිමකරන්නන්ට වික්‍රමාරච්චි සමාගමේ දිවයින පුරා පිහිටි ශාඛා වල සේවය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

පාඨමාලා හඳුන්වා දීමේ උත්සවය පසුගිය 10 දින දෙල්කඳ පිහිටි වික්‍රමාරච්චි ඔප්ටීෂන්ස් ශ්‍රවණ සත්කාර මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම පාඨමාලා දෙකටම තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී ඇති අතර, ජර්මන් ද්විත්ව සුදුසුකම් සම්බන්ධ මූලිකාංගද ඇතුළත් වන නිසා එම පාඨමාලා Association of German Chambers of Commerce and Industry (DIHK) මගින් නියම කර ඇති ප්‍රමිතීන්ටද අනුකූල වේ. මෙම පුහුණු වැඩසටහන සඳහා ජේ. එම්. වික්‍රමාරච්චි සහ සමාගම, Swiss State Secretariat for Migration (SEM) සහ German Federal Ministry for Economic Cooperation and Development (BMZ) යන ආයතන මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

AHK Sri Lanka දියත් කර ඇති Business Scouts for Development (BSfD) වැඩසටහන හරහා මෙම පුහුණු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට හිමිවන ඉහළම තත්ත්වයේ වෘත්තීය පුහුණු අවස්ථා පිළිබඳව මා සැබැවින්ම සතුටු වෙනවා. අද අප මේ ආරම්භ කරන්නේ තවත් එවැනි ව්‍යාපෘතියක්. ශ්‍රවණාබාධ සහිත තරුණ තරුණියන් පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට හැකිවීම පිළිබඳව අප විශේෂයෙන්ම සතුටු විය යුතුයි. ජර්මනියේ ද්විත්ව ක්‍රමවේදයේ සාර්ථකත්වය පිළිබඳව විශ්වාසයකින් සහ, ජර්මනිය හා අපගේ අනෙකුත් මිතුරු රටවල් ක්‍රියාත්මක කළ ව්‍යපෘති වල ප්‍රමිතිය පිළිබඳ අවබෝධයකින් යුතුව අප වසර ගණනාවක් තිස්සේ රටවල් කිහිපයකම එබඳු ව්‍යපෘති වලට සහයෝගය ලබාදී තිබෙනවා. මෙම සහයෝගීතාව වෙනුවෙන් අපගේ ජර්මානු හවුල්කරුවන්ට හා මිතුරන්ට ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි.”

වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය ෆර්ග්ලර් කියා සිටියේ, වෘත්තීය අධ්‍යාපනයට වැඩි ඉඩක් වෙන්කරන මෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගෙන් සහ බලධාරීන්ගෙන් තමන් ඉල්ලා සිටින බවයි. “ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුහුණු ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය මෙහිදී ආදර්ශයට ගැනීමට පුළුවන්. එක් රටක සාර්ථක වූ ක්‍රමයක් එලෙසම වෙනත් රටක භාවිතා කළ නොහැකි බව සත්‍යයක්. අප අදාළ රටට ආවේණික වූ තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුයි. ආකල්ප වෙනස් කිරීම පහසු දෙයක් නොවන අතර එයට සැලකිය යුතු කාලයක් ගතවෙනවා. මෙවැනි ව්‍යාපෘති අතිශයින් වැදගත් වන්නේ ඒ නිසයි. මෙය අදාළ ප්‍රතිලාභීන්ට මෙන්ම සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද ප්‍රතිලාභ සලසමින්, අනාගතයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති වලට අගනා ආදර්ශයක් බවට පත්වනු ඇතැයි කියා මා සිතනවා. ඉදිරියටත් මෙවැනි ව්‍යාපෘති වලට සහයෝගය ලබාදීමට ස්විට්සර්ලන්තය සූදානම්.” ආචාර්ය ෆර්ග්ලර් වැඩිදුරටත් පැවසී ය.

“වඩාත් ප්‍රතිලාභදායී පුහුණු අවස්ථා නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ දෘශ්‍ය හා ශ්‍රවණ කර්මාන්තය වෙනස් කිරීම අපගේ බලාපොරොත්තුවයි. කර්මාන්තයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වඩාත් හොඳින් සුදුසුකම් සපිරූ වෘත්තිකයන් බිහිකිරීමට අප උත්සාහ කරනවා. මෙවැනි පර්යේෂණ හා සංවර්ධන අවස්ථා ඔස්සේ අපට එම උත්සාහය යථාර්ථයක් බවට පත්කර ගැනීමට අවස්ථාව ලැබේවි.” ජේ. එම්. වික්‍රමාරච්චි සහ සමාගමේ නිර්මාතෘ මිහිර වික්‍රමාරච්චි මහතා පැවසී ය.

ලොව සුප්‍රකට ශ්‍රවණාධාර සන්නාමයක් වන Phonak වෙනුවෙන් Sonovo සමූහ ව්‍යාපාරය විසින් මෙහිදී ශ්‍රවණාධාර බෙදාදීම සහ පුහුණු කටයුතු සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීම සිදුකරන ලදි.
GIZ Sri Lanka නියෝජනය කරමින් දේශීය කළමනාකාරිනී ක්‍රිස්ටියෑන් අයින්ෆෙල්ට් මහත්මිය සහ GIZ- Vocational Training ව්‍යාපෘති ප්‍රධානී මේතිස් හෙම්බර්ගර් මහතාද, AHK Sri Lanka නියෝජනය කරමින් ආයතනික කටයුතු ප්‍රධානී මලින්ත ගජනායක මහතා සහ වෘත්තීය පුහුණු කළමනාකාරිනී පියුමි සිරිගම්පල මහත්මියද මෙම අවස්ථාවට එක්වූහ.

සමාරම්භක උත්සවය අවසානයේදී ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය ෆර්ග්ලර් සහ සිංගප්පූරුවේ Phonak Sonova කළමනාකාර අධ්‍යක්ෂ චුආ සේ පෙන් මහතා විසින් ජංගම ශ්‍රවණාධාර සායන තුනක් විවෘත කරන ලදි. මෙම ජංගම සායන තුන ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මහජනතාවට බිම් මට්ටමින් ශ්‍රවණාධාර සේවාවන් සපයනු ඇත.

අධ්‍යාපන අවස්ථා වැඩි වැඩියෙන් නිර්මාණය කරමින් සහ දේශීය හා ජාත්‍යන්තර රැකියා සඳහා සුදුසුකම් සපිරූ වෘත්තිකයන් බිහිකරමින්, රටේ දෘශ්‍ය හා ශ්‍රවණ කර්මාන්තයන් අර්ථවත් පරිවර්තනයකට ලක්කිරීම වික්‍රමාරච්චි සහ සමාගමේ අරමුණ වී තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *