27 April 2024
#දේශීය

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වු මෙරට සිසුන්ට නේපාලයේ දී O/L විභාගයට පෙනී සිටිමට වරම්

නේපාලයේ කත්මණ්ඩු නුවර දී මෙවර පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සිසුන් 7 දෙනෙකු 2019 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපනයේ තවත් සාධනීය පියවරක් සනිටුහන් කරමින් එම සිසුන්ට නේපාලයේ සිට එම විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සලසා තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද සහාය ඇතිව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණය වෙමින් මෙම අනගි අවස්ථාව තරගාවලියට එක්වන සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂක ශ්‍රී ලාංකීය දූදරුවන් වෙත සලසා දෙනු ලැබෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නීතීරීතිවලට යටත් ව, රහස්‍යභාවය, විශ්වසනීයබව හා ආරක්ෂාකාරීබව පවත්වාගනිමින් ශ්‍රී ලංකාවේ එම විභාගය පැවැත්වෙන වේලාවට අනුරූපව මෙම සිසුන් සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පියවර ඇත. ඒ වෙනුවෙන් නේපාලය බලා පිටත්ව යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් මෙම විභාගය සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන අතර එම නිලධාරීන්ගේ ගුවන් ප්‍රවේශපත් හා නවාතැන් සඳහා වියදම් ජාතික ඔලිම්පික් කමිටුව විසින් දැරීමට එකඟ වී ඇත.

අධ්‍යාපනයෙන් බිහිකළ යුත්තේ සමබර පෞරුෂයෙන් යුත් දරු පරපුරක් වන බවත්, ක්‍රීඩාව නිසා විභාග හෝ විභාග නිසා දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් හෝ අතපසුකිරීමට ඉඩ නොතබා මේ අයුරින් කටයුතු කිරීමට හැකිවීම අධ්‍යාපනයේ සාධනීය පියවරක් බවත් මේ සම්බන්ධ ව අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *