මාර්ගත (Online) ක්‍රමවේද ඔස්සේ සිදු කරනු ලබන ව්‍යාපාර නිසි ලෙස නියාමනය කළ යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ 09 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.
අන්තර්ජාල වෙළෙඳපොළ හරහා සිදුකෙරෙන ඇතැම් ව්‍යාපාර ලියාපදිංචි නොවීම සහ බදු නොගෙවීම හේතුවෙන් නීත්‍යානුකූලව බදු ගෙවන ව්‍යාපාරිකයන් දැඩි අසාධාරණයකට ලක්වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය කාලසීමාව තුළ මෙවැනි අවිධිමත් ක්‍රම ඔස්සේ ඩොලර් මිලියන 780ක වැනි විශාල මුදලක් රටින් පිටවී ඇති බව නිරීක්ෂණය වී තිබේ.
දැනට රටේ ලියාපදිංචි ව්‍යාපාර ප්‍රමාණය 65,000ක් ලෙස උපකල්පනය කළ හැකි වුවද, ඇතැම් සමාගම්වල බෙදාහරින්නන් සහ නියෝජිතයින් ප්‍රමාණය ලක්ෂ දෙකකට අධික බවත්, ගමේ සිල්ලර කඩයේ සිට ජාතික මට්ටමේ B2C ව්‍යාපාර දක්වා විශාල පිරිසක් නිසි පරිදි ලියාපදිංචි වී නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සිල්ලර වෙළෙඳාම යනු දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් මිලියන දෙකකට ආසන්න පිරිසකට රැකියා උත්පාදනය කරන රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සපයන ප්‍රධාන ක්ෂේත්‍රයකි. එම ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම සඳහා මෙම නියාමන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
















