ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අධි අවදානමට පත් වූ පවුල් 11ක් සඳහා රුපියල් ලක්ෂය බැගින් මූල්‍ය ආධාර ලබා දීමට රජය ගත් පියවර පිළිබඳව සුනිල් රාජපක්ෂ මහතා සිය ස්තූතිය පළ කළේය.
රත්නපුර දිස්ත්‍රික්කය වාර්ෂිකව අධික වර්ෂාපතනයකට මුහුණ දෙන ප්‍රදේශයක් වන බැවින්, මිලිමීටර් 100-150 ඉක්මවන වර්ෂාවකදී ජනතාවට ඉවත් වන ලෙස උපදෙස් ලැබුණ ද ඔවුන්ට රැඳී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සහිත ආරක්ෂිත මධ්‍යස්ථාන නොමැති වීම විශාල ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. පසුගිය ආපදා තත්ත්වයේදී පමණක් ඕපනායක සහ පල්ලෙබැද්ද ප්‍රදේශවල පවුල් 125ක් පමණ ඉවත් කිරීමට සිදු වූ බව සඳහන් කළ ඒ මහතා, මෙවැනි අවදානම් පවුල් වෙනුවෙන් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට හෝ ඉදිරි වසර කිහිපය තුළ ඔවුන් ආරක්ෂිත ස්ථානවල ස්ථිරව පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇත්දැයි රජයෙන් විමසා සිටියේය.
















