ලොව ප්‍රකට OpenAI සමාගම විසින් කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ මිනිස් කටහඬවල් ක්ලෝන කිරීමේ (Voice-cloning) තාක්ෂණය සැපයූ “Weights.gg
” නමැති නවක සමාගම (Startup) මිලදී ගෙන ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත වාර්තා කරයි. මෙම ගනුදෙනුවේ මූල්‍යමය වටිනාකම මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති වුව ද, Weights සමාගමේ සිටි සුළු සේවක මණ්ඩලය සහ එහි සමස්ත බුද්ධිමය දේපළ (Intellectual Property) OpenAI සමාගම විසින් තමන් සතු කරගෙන ඇති බව අනාවරණය වේ. පසුගිය මාර්තු මාසයේදී Weights සමාගම සිය සේවාවන් සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කර තිබුණි.
Weights යනු විවිධ පුද්ගලයන්ගේ, විශේෂයෙන්ම ලෝක ප්‍රකට තරු සහ දේශපාලනඥයන්ගේ කටහඬවල් AI තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර ඒවා බෙදාහැරීම සඳහා සකස් කර තිබූ සමාජ ජාලාමය ස්වරූපයේ පද්ධතියකි. ප්‍රකට හොලිවුඩ් නළු සැමුවෙල් එල්. ජැක්සන් (Samuel L. Jackson), සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් (Taylor Swift), කැනියෙ වෙස්ට් (Kanye West) මෙන්ම දකුණු කොරියානු බ්ලැක්පින්ක් (Blackpink) කණ්ඩායමේ සාමාජිකයන්ගේ කටහඬවල් ක්ලෝන කරමින් සකසන ලද AI මාදිලි මෙම වෙබ් අඩවිය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබුණි. මීට අමතරව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ හිටපු ජනාධිපති ජෝසෆ් බයිඩන් (Joseph Biden) වැනි ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන්ගේ ව්‍යාජ කටහඬවල් ද එහි අඩංගු විය.
කෙසේ වෙතත්, අවසරයකින් තොරව තමන්ගේ කටහඬවල් මෙලෙස AI මඟින් ක්ලෝන කිරීමට එරෙහිව සැමුවෙල් ජැක්සන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් මීට පෙර සිය දැඩි විරෝධය පළ කර තිබුණි. විශේෂයෙන්ම ටේලර් ස්විෆ්ට් විසින් සිය කටහඬ සහ රූපය වෙනත් පාර්ශ්වයන් භාවිත කිරීම වැළැක්වීම සඳහා ඇමරිකානු පේටන්ට් සහ වෙළඳ ලකුණු කාර්යාලය වෙත වෙළඳ ලකුණු (Trademark) අයදුම්පත් මාලාවක් ද පසුගිය මාසයේදී ඉදිරිපත් කර තිබේ.














