ChatGPT හි හඬ පාලන පද්ධතිය (Voice mode) වැරදි තොරතුරු ලබා දීම සහ එම වැරදි නිවැරදි කිරීමට උත්සාහ කළද පද්ධතිය දිගින් දිගටම සිය වැරදි පිළිතුරේම රැඳී සිටීම (Wrong-answer stubbornness) සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් (Sam Altman) මෑතකදී පිළිගත්තේ මෙය පවතින ගැටලුවක් බවයි. එහෙත් එය සම්පූර්ණයෙන්ම විසඳීමට තවත් වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බව ඔහු පැවසීමත් සමඟ මෙම ආන්දෝලනය තවත් තීව්‍ර වී ඇත.
මෙම ගැටලුව කරළියට පැමිණියේ ටික්ටොක් (TikTok) පරිශීලකයෙකු ChatGPT හඬ පාලන පද්ධතිය හරහා ධාවන කාල ගණකයක් (Timer) සැකසීමට උත්සාහ කළ අවස්ථාවකදීය. එහිදී තත්පර කිහිපයකින් ධාවනය නතර කළද, ChatGPT එය විනාඩි 10කට වඩා වැඩි වාර්තාවක් ලෙස සටහන් කර තිබූ අතර, වැරැද්ද පෙන්වා දුන් පසුව පවා එය නිවැරදි කිරීමට ChatGPT එකඟ නොවී සිය පිළිතුර නිවැරදි බවට තර්ක කර තිබුණි. සරල ගණිතමය දෝෂයකට වඩා, පද්ධතිය තමන් නොදන්නා දෙයක් වුවද “නිවැරදියි” යන ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම සහ වැරදි පිළිතුරේම එල්බ සිටීම (Hallucination) පරිශීලක විශ්වාසය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
මෙම තාක්ෂණික දෝෂ මධ්‍යයේ සෑම් ඇල්ට්මන්ගේ කළමනාකරණ සහ තාක්ෂණික නායකත්වය පිළිබඳව ද විවිධ පාර්ශ්වයන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත. වාර්තාවලට අනුව, OpenAI ආයතනය තුළ සිටින ඇතැම් ඉංජිනේරුවන් පවා ඇල්ට්මන්ගේ තාක්ෂණික දැනුම පිළිබඳව සැක පළ කරන අතර, ඔහු මූලික AI පද පවා පටලවා ගන්නා බවට චෝදනා එල්ල වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ChatGPT වැනි බහුලව භාවිත වන සේවාවන්හි ගුණාත්මකභාවය සහ ආයතනික පාලනය පිළිබඳව ඉදිරියේදී දැඩි අවධානයක් යොමු වනු ඇත.














