27 April 2024
#දේශීය

ආණ්ඩුව විදුලිය කැපීමේ තෑග්ගක් දෙන බව විපක්ෂ නායක හෙළි කරයි

වර්තමාන ආණ්ඩුව විටින් විට අලුත් අලුත් තෑගි ජනතාවට ලබාදෙන බවත්, පොහොර කැපීමේ තෑග්ග, පිපිරෙන ගෑස් ටැංකි තෑග්ග වැනි තෑගි අතර අලුත්ම තෑග්ග වන්නේ ඉදිරි මාස කිහිපය සදහා විදුලිය කැපීමේ තෑග්ග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 44වන පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් (රු. 2,990,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ අද (15) සම්මන්තුරේ මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබු අවස්ථාවට එක්වෙමිනි.

සෞභාග්‍යයෙ දැක්ම වෙනුවට අන්ධකාරයේ දැක්ම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බව පැවසූ විපක්ෂ නායකවරයා වර්තමාන ආණ්ඩුව පැමිණියේ ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවත්, එහෙත් අද සිදුව ඇත්තේ ආණ්ඩුවෙන් ජනතාවට ආරක්ෂා වීමට බවත් පැවසීය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස යනාදී සියලු අයිතිවාසිකම් ආණ්ඩුව විසින් උල්ලංඝනය කරමින් ඇති බව පැවසූ විපක්ෂනායකවරයා ජනතා අයිතිවාසිකම් 24 පැයම උල්ලංඝනය කරන ආණ්ඩුවක් අද පවතින බවද පැවසීය.

මිලියන දෙදහසකට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ සියයට 25ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් අයත් නොවන බව අන්තිමට මුදල් ඇමති කියන්නට සිදුව ඇති බව පැවසූ විපක්ෂනායකවරයා, අර්ථසාධකය ට තට්ටු කරන්නට ගත් උත්සාහය ආණ්ඩුවක් අඩියක් පස්සට ගත්තේ සමගි ජනබලවේගයේ අරගලය නිසා බවත් විපක්ෂනායකවරයා පැවසීය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *