දශක තුනක කුරිරු යුද්ධය නිමවා රටට නිදහස උදා කර දුන් වීරෝධාර රණවිරුවන්ට උත්තමාචාරය පුද කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. යුද ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාටත්, යුද හමුදාපතිවරයා ලෙස නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ සිවිල් ආරක්ෂක බලකායට සිය ගෞරවය පිරිනමන බව ඔහු සඳහන් කළේය. යුද්ධය හේතුවෙන් තමාට ද පියා අහිමි වූ බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, එහි වේදනාව සහ කම්පනය වින්දිත පවුල්වලට පොදු බවත්, එවැනි යුද්ධයක් යළි ඇති නොවීමට වගබලා ගැනීම සැමගේ වගකීමක් බවත් අවධාරණය කළේය.
යුද්ධය නිසා පීඩාවට පත් විවිධ ජන කොට්ඨාසවල ගැටලුවලට ජිනීවා නුවරදී නොව මෙරට තුළදීම විසඳුම් සෙවිය යුතු බව මෙහිදී ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් හරහා ජාතීන් සහ ආගම් අතර සහෝදරත්වය හා සංහිඳියාව ගොඩනැගීම මගින් රටේ ඒකීයභාවය තහවුරු කළ හැකි බවත්, වින්දිතයන්ගේ ප්‍රශ්න විසඳීමට දේශීය යාන්ත්‍රණයක් සක්‍රීය විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.














