27 April 2024
#සංවර්ධන

ආහාර පර්යේෂණාගාරය අපේ ඉලක්කය – ඇමැති රිෂාඩ්

කුඩා හා මධ්‍යම පරිමාණ ආහාර නිෂ්පාදකයින් හා සැකසුම්කරුවන්ගේ නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහාත්, වඩාත් ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ ආහාර සැකසුම්කරණය දිරිමත් කිරීම සඳහාත්, ආහාර පර්යේෂණාගාරයක් (Food Laboratory) ආරම්භ කිරීම අපගේ මීළඟ ඉළක්කය වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එමගින් රසායනික සංයුතිය හා ක්‍ෂුද්‍රජීවී විද්‍යා ආශ්‍රිතව විශ්ලේෂණ කටයුතු කරමින් උපකාර කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති COMPLAST 2018 COMEXPO ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා අතින් COMPLAST 2018 COMEXPO ප්‍රදර්ශනය විවෘත කෙරුණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ හා ඉන්දියාවේ SMART EXPOS ආයතනයේ සංවිධායකත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි 130 ක් පමණ පැවතුණි. විශේෂයෙන්ම ආහාර සැකසුම් මෙන්ම ඊට අදාල උපකරණ හා ඇසුරුම් මෙම ප්‍රදර්ශනයේදී කැපී පෙනුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් තරංජිත් සිං සිදු, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති මහින්ද ජිනසේන, ශ්‍රී ලංකා රබර් හා ප්ලාස්ටික් ආයතනයේ උප සභාපති එන්.රාජපක්ෂ, ඉන්දියාවේ SMART EXPOS සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී බී.ස්වාමිනාදන් මහත්ත මහත්මීන්ද සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *