27 April 2024
#දේශීය

අපේ තාක්ෂණික දැනුම යාවත් කාලීන විය යුතුයි – ඇමැති සුසිල්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළට හර විෂයක් ලෙස ඉදිරියේ දී එකතු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික මට්ටමින් පවත්වන ලද ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ‘ තරගාවලියේ ජයග්‍රහණ ලබාගත් සිසුන් සහ ගුරු භවතුන් උදෙසා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවය අවස්ථාවට එක් වෙමිනි.

සෙසු රටවලට සාපේක්ෂ ව දැනුම අතින් අප ඉදිරියෙන් සිටියත් ඒ දැනුම ප්‍රායෝගික ව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් අපට නොමැති නිසා වෙනත් රටවල් අපේ මිනිස් දැනුමින් ප්‍රයෝජන ගන්නා බවත් එම මානව සම්පත, මෙරට ආර්ථිකය හසුරවන පිරිසගේ අවධානයෙන් ගිලිහීම ඊට බෙහෙවින් බලපා ඇති බවත් කඩිනමින් ලොව පුරා විසිරී සිටින දැනුමින් සන්නද්ධ ශ්‍රී ලාංකික මානව සම්පත යළි කැඳවා, අපට මගහැරෙමින් යන හතර වෙනි කාර්මික විප්ලවය හඹා ගොස් දුරස් ව ඇති පරතරය පියවාගෙන රටේ අනාගතය ගොඩනැගිය යුතු බව අමාත්‍යවරයා පැවසිය.

ඒ සඳහා මෙරට ආර්ථික විද්‍යාඥයන්ගේ අවධානය හා අනුග්‍රහය, දැනුම හා තාක්ෂණය කෙරෙහි යොමු විය යුතු ම බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළට හර විෂයක් ලෙස ඉදිරියේ දී එකතු කිරීමට බලාපොරොත්තු වන අතර, මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ‘රොබෝටික්ස්, කෘත්‍රීම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසු කර සිසුන් දැනුමෙන් මෙන් ම තාක්ෂණයෙන් ද සන්නද්ධ කිරීම මගින් මේ අනාගත අභියෝග ජයගැනීමේ මාවත තැනීමේ වේගවත් ක්‍රියාදාමයක නිරත විය යුතු ව පවතින බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *