මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ඛේදනීය තත්ත්වය හේතුවෙන් ජීවිත හානි සිදුවීම සහ පිරිසක් තුවාල ලැබීම යනු බන්ධනාගාර පරිපාලනයේ බිඳ වැටීම සහ අකාර්යක්ෂමතාවේ උච්චතම අවස්ථාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු අවධාරණය කළේ, වත්මන් ජනාධිපතිවරයා මීට පෙර විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සිටියදී බන්ධනාගාර තුළ ජීවිත හානි සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවට ප්‍රකාශ කළ බවත්, එම තර්කයට අනුව අද දිනයේ සිදුව ඇති මෙම ජීවිත හානි සම්බන්ධයෙන් වත්මන් රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත්ය.
“වත්මන් රජය බලයට පත් වූයේ ක්‍රමයේ වෙනසක් (System Change) සිදු කරන බව පවසමින් වුවත්, අද මේ මීගමුව බන්ධනාගාරය කේන්ද්‍ර කරගෙන සිදුවූ දේවලින් පෙනී යන්නේ එම ක්‍රමය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි. නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හෝ බන්ධනාගාර තුළ මානුෂීය පරිපාලනයක් ගෙන යාමට රජයට නොහැකි වී ඇත්තේ මන්දැයි අප ප්‍රශ්න කරනවා. රටේ ජනතාව මේ දෙස බලා සිටින නිසා රජය මේ සඳහා පිළිතුරු දිය යුතුයි,” යනුවෙන් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මෙම ගැටුම සම්බන්ධයෙන් රජයට වාසිදායක වාර්තා සකස් කරන කමිටුවලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තුව තුළ ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු රජයට බලකර සිටියේය.
ජාතික ආරක්ෂාව යනු ආර්ථිකය, අධ්‍යාපනය, බන්ධනාගාර පද්ධතිය මෙන්ම නීතිය හා සාමය ද ඇතුළත් පුළුල් දැක්මක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, එදා උද්දච්චකමින් ජාතික ආරක්ෂාව ගැන අන් අයට පාඩම් කියා දුන් පිරිසගේ ජාතික ආරක්ෂාව අද වන විට බිඳ වැටී ඇති බවයි. එම උද්දච්චකම පසෙකලා නිහතමානීව ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.














