රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට නව නිලධාරීන් 1,252 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා ඇත. ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් හෙට (ජූලි 07) අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට නියමිතය.
2025 වසරේ ඔක්තෝබර් මස පැවැති විවෘත තරග විභාගය සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න පිරිසක් පෙනී සිටි අතර, එහි ප්‍රතිඵල සහ 2026 මැයි මාසයේ පැවැති සම්මුඛ පරීක්ෂණ ඇතුළු දක්ෂතා මත මෙම පිරිස තෝරාගෙන ඇත.
පත්වීම් ලැබීමට නියමිත නිලධාරීන් සියල්ලෝම වයස අවුරුදු 18ත් 29ත් අතර පසුවන තරුණ තරුණියන් වේ. සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු වශයෙන් මෙම පිරිස සමන්විත වේ. මූලික සුදුසුකම උසස් පෙළ වුවද, පත්වීම් ලැබූ අය අතර උපාධිධාරීන් විශාල පිරිසක් ද සිටිති.
කළමනාකරණ සේවා නිලධාරි සේවයේ පවතින සම්පූර්ණ පුරප්පාඩු සංඛ්‍යාව 1,615කි. පළමු වටයේදී 1,252 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බැවින්, ඉතිරි පුරප්පාඩු සඳහා දෙවන වටයේ බඳවා ගැනීම් සිදුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2021 වසරෙන් පසුව රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු නොවීම හේතුවෙන් උද්ගතව තිබූ බරපතළ නිලධාරී හිඟයට විසඳුම් වශයෙන් රජය මෙම පියවර ගෙන ඇත. රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව 2025 වසරේදී 35,000කට අධික පිරිසක් බඳවා ගත් අතර, මෙම වසර තුළ ලක්ෂයකට අධික පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, 2027 වසරේදී ද තවදුරටත් බඳවා ගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














