වී අලෙවි මණ්ඩලය විසින් මෙවර කන්නයේ වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අතර, එම මිලදී ගැනීම් කටයුතු ලබන සඳුදා (ජූලි 13) ආරම්භ වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වී මිලදී ගැනීම සඳහා වයඹ, උතුර, අනුරාධපුර, අම්පාර, දකුණ, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ මොනරාගල ඇතුළු දිස්ත්‍රික්කවල පිහිටි ගබඩා 143ක් භාවිතා කිරීමට නියමිතය. මීට අමතරව, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක ණය පහසුකමක් ලබා දී ඇත.
වී මිලදී ගන්නා සහතික මිල ගණන් පහත පරිදි වේ
නාඩු – රු. 120
සම්බා – රු. 130
කීරි සම්බා – රු. 140
දේශීය ගොවියා ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතාවය බවත්, ගොවියාගේ අස්වැන්නෙන් වෙළඳපොළ අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වුවහොත් පමණක් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. රජය සහතික මිලට වී මිලදී ගැනීම තුළින් වෙළඳපොළ කළමනාකරණය කර ගැනීමටත්, ඒ ඔස්සේ පුද්ගලික අංශය ද ආසන්න මිලකට වී මිලදී ගැනීමට පෙළඹෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















