රට පුරා බන්ධනාගාර පුළුල් කිරීමේ වැඩසටහනක් මේ වන විට අදියර වශයෙන් ක්‍රියාත්මක කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැලිසර ප්‍රදේශයේ දැනටමත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදිකර ඇති බවත්, ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක බන්ධනාගාර පුළුල් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.
මෙම අවස්ථාවට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර මහතා සඳහන් කළේ අධිකරණ අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මිල්ලෑව ප්‍රදේශයේ නව බන්ධනාගාර පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි. කොළඹ පිහිටි බන්ධනාගාර එම නව පරිශ්‍රය වෙත ගෙන යාමේ සැලසුමක් පවතින බවත්, ඉඩම් තක්සේරු වටිනාකම් අතර පැවති පරතරය හේතුවෙන් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට යළි ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.
තවද, වටරැක බන්ධනාගාරයේ සංවර්ධන කටයුතු අදියර වශයෙන් ආරම්භ කර ඇති අතර බෝගම්බර ඇතුළු තවත් බන්ධනාගාර කිහිපයක ඉදිකිරීම් හා පුළුල් කිරීමේ ව්‍යාපෘති ද ක්‍රියාත්මක වෙමින් පවතී. රැඳවියන් තාවකාලිකව රඳවා තැබීම සඳහා තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීමට ද පියවර ගෙන ඇති බවත්, මෙම සියලු කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ අධිකරණ අමාත්‍යාංශය මට්ටමින් ගෙන ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















