ජාත්‍යන්තර ගෘහ සේවක දිනය සැමරීමට සූදානම් වුවද, පාකිස්ථානය සිය රටේ මිලියන සංඛ්‍යාත ගෘහ සේවකයින්ට රැකවරණය සැලසීමට තවමත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්ම පන්ජාබ් ප්‍රාන්තයේ ‘2019 ගෘහ සේවක පනත’ සම්මත වී වසර කිහිපයක් ගත වුවද, එහි නීතිමය ආරක්ෂාව නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මිලියන 10කට අධික සේවක පිරිසක් සූරාකෑමට සහ අපයෝජනයට ලක්වන බව ‘The Express Tribune’ පුවත්පත පෙන්වා දෙයි. ලාහෝර්, රාවල්පිණ්ඩි සහ ෆයිසලාබාද් වැනි නගරවල පමණක් මිලියන 7කට අධික ගෘහ සේවකයින් පිරිසක් සිටින අතර ඉන් බහුතරය කාන්තාවන් සහ ළමයින් වේ. වයස අවුරුදු 15 සිට රැකියා සඳහා අවසර දීම සහ අවම මට්ටමේ පවතින මාතෘ නිවාඩු වැනි නීතිමය අඩුපාඩු මෙන්ම, ආරවුල් විසඳීමේ කමිටු අක්‍රිය වීම ද මෙම තත්ත්වයට බලපා ඇති බව ක්‍රියාකාරීහු පවසති.
ලේඛනගත නොකළ ආර්ථිකය තුළ ගෘහ සේවකයින්ට අවම වැටුප් රෙගුලාසි ක්‍රියාත්මක නොවීම සහ දශක ගණනාවක් සේවය කළද සෞඛ්‍ය පහසුකම්, විශ්‍රාම වැටුප් හෝ නීතිමය රැකවරණයක් නොමැති වීම මෙම සේවකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලු වේ. රුපියල් 40,000ක අවම වැටුප දැඩි ලෙස බලාත්මක කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටින අතර, ළමා ශ්‍රමය සහ තරුණ ගැහැණු ළමයින් සේවයට යෙදවීම තවමත් බාධාවකින් තොරව සිදු වීම සම්බන්ධයෙන් ද දැඩි අවධානය යොමු වී ඇත. අර්ථවත් ප්‍රතිසංස්කරණ වෙනුවට බලධාරීන් හුදු ප්‍රචාරණ කටයුතුවලට පමණක් මුල්තැන දීම පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයෝ සිය දැඩි විවේචනය එල්ල කරති.















