මීට වසර හතරකට පෙර (2022) පාකිස්තානයට බලපෑ විනාශකාරී ගංවතුරින් විපතට පත්වූවන්ට නිවාස ඉදිකිරීම සඳහා ලැබුණු ජාත්‍යන්තර මූල්‍යාධාර එරට බලධාරීන් විසින් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා වැය කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.
පාකිස්තානයේ ඩෝන් (Dawn) පුවත් සේවය වාර්තා කරන්නේ, යුරෝපා සංගමය (ඩොලර් මිලියන 930) සහ ලෝක බැංකුව (ඩොලර් මිලියන 213) මඟින් ලබා දුන් මෙම සහනාධාර නිසි ලෙස කළමනාකරණය කර නොමැති බවයි. විශේෂයෙන්ම වැඩිම හානියක් සිදු වූ බලුකිස්තාන ප්‍රාන්තයේ නිවාස අහිමි වූ සුදුසුකම් ලත් පවුල් 1,19,049කට මෙතෙක් මුදල් ප්‍රතිපාදන වෙන් කර නොමැති අතර, ආපදාවට ඔරොත්තු දෙන නිවාස 35,100ක් ඉදිකිරීමට වෙන් කළ මුදල් මෙලෙස වෙනත් කටයුතුවලට යොදවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.














