හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව 2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුර සහ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු සාක්ෂිකරු වන ගයාන් විනෝදකගේ සාක්ෂි විමසීම ඊයේ (06දා) අවසන් විය. කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කර සිටියේ අනතුර සිදුකළ වාහනයේ රියැදුරා චම්පික රණවක මහතා බවයි. තමන් ඒ සම්බන්ධයෙන් රාජගිරිය පොලිසියට දුන් කටඋත්තරය කියවා බලා අත්සන් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව ද ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය. මීට පෙර දින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන සාක්ෂිය ලබා දුන් අතර ඊයේ දිනයේදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලදී.
හිටපු අමාත්‍යවරයාට එරෙහිව අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම, සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුර පිළිබඳ තොරතුරු පොලිසියට දැනුම් නොදීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව පවරා තිබේ. පාඨලී චම්පික රණවක මහතාට අමතරව එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ රියැදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිව ද මෙහිදී චෝදනා එල්ල වී ඇත.













