ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් කිසිදු දේශපාලන හෝ වෙනත් කොන්දේසියකින් තොරව උදවු කිරීමට පාකිස්තානය ඕනෑම අවස්ථාවක සූදානම් බව ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය නයාර් නසීර් මහතා ප්‍රකාශ කළේය.
මහ කොමසාරිස්වරයා මේ බව සනාථ කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සමඟ එම අමාත්‍යාංශයේදී පෙරේදා (25) පැවැති විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවකදීය.
කෘෂිකාර්මික හා පශු සම්පත් සහයෝගීතාව:
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන දෙරටම කෘෂිකාර්මික ආර්ථිකයන් සහිත රටවල් බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා, පාකිස්තානය සත්ත්ව නිෂ්පාදන සහ කිරි නිෂ්පාදනය අතින් ලෝකයේ පස්වැනි ස්ථානයේ පසුවන බව සිහිපත් කළේය. එරට සතු දියුණු සීනි, එළවළු, පළතුරු සහ උසස් තත්ත්වයේ අඹ වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට ඇති හැකියාව ද ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පසට සහ දේශගුණයට ගැළපෙන ඉහළ ගුණාත්මයෙන් යුත් ‘බාස්මතී’ සහල් ප්‍රභේදයන් නිපදවා ගැනීමට සහය වීමට පාකිස්තානය සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.
අගමැතිනියගේ පාකිස්තාන සංචාරය:
එළඹෙන ජුනි මස අගභාගයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණීමට නියමිත බවත්, එරට රජය ඒ සඳහා ඉතා වුවමනාවෙන් සූදානම් වන බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී අනාවරණය කළේය. එම සංචාරය සඳහා එක්වන ලෙස හෝ වෙනත් අවස්ථාවක පාකිස්තානයට පැමිණ එරට කෘෂිකාර්මික දියුණුව නිරීක්ෂණය කරන ලෙස ඔහු අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විවෘත ආරාධනයක් ද කළේය.
ඇමති ලාල්කාන්තගෙන් ස්තුතිය:
පාකිස්තානු මහ කොමසාරිස්වරයාගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියේ, පාකිස්තානය යනු කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට දේශපාලනික වශයෙන් බලපෑම් එල්ල නොකළ, සැබෑ මිත්‍ර රටක් බවයි. කිසිදු වාසියක් අපේක්ෂා නොකර ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය වෙනුවෙන් ස්තුතිය පිරිනැමූ අමාත්‍යවරයා, පාකිස්තානය සමඟ ඉදිරියේදී අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කරමින් වඩාත් විවෘතව කටයුතු කිරීමට රජය සූදානම් බව ද පැවසීය. එසේම, වත්මන් ජාත්‍යන්තර දේශපාලන කරළියේ පවතින අමෙරිකා – ඉරාන නොසන්සුන්තා හමුවේ පාකිස්තානය දක්වන රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
















