2022 වසරේදී පාකිස්තානය වධහිංසා විරෝධී පනත සම්මත කළද, එය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම, ප්‍රමාණවත් ආරක්ෂණ ක්‍රමවේද නොමැති වීම සහ වගවීමක් නොමැතිකම හේතුවෙන් අමානුෂික සහ පහත් ලෙස සැලකීමේ සිදුවීම් තවදුරටත් සිදුවන බව පාකිස්තාන මානව හිමිකම් කොමිෂන් සභාව අනතුරු අඟවයි.යුරෝපීය සංගමයේ සහාය ඇතිව ‘වධහිංසාවට එරෙහිව’ තේමාව යටතේ පැවැති වටමේස සාකච්ඡාවකදී මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර, නීති විශාරදයින්, රාජ්‍ය නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී 2022 වධහිංසා සහ අත්අඩංගුවේදී සිදුවන මරණ (වැළැක්වීම සහ දඬුවම් කිරීමේ) පනත ක්‍රියාත්මක කිරීමට ඇති බාධා හඳුනා ගැනීම සහ රටේ වධහිංසා විරෝධී රාමුව බලගැන්වීම සඳහා යෝජනා සකස් කිරීම සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ පාකිස්තාන මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික සහ හිටපු සභාපතිනී හිමා ජිලානි සඳහන් කළේ, මානසික වධහිංසා ඇතුළු අනෙකුත් අමානුෂික හෝ පහත් ලෙස සැලකීම් සහ දඬුවම් වැළැක්වීම ද ශාරීරික වධහිංසා මෙන්ම ඉතා වැදගත් වන බවත්, වධහිංසා සහ වැරදි ලෙස සැලකීමේ සිදුවීම් හඳුනා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, ලේඛනගත කිරීම සහ ක්‍රියාකිරීම සම්බන්ධයෙන් නීතිය බලගන්වන ආයතන වෙත පැහැදිලි පටිපාටියක් නොමැතිව මෙම නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ නොහැකි බවයි. තවද, වධහිංසා පැමිණවීම් සහ හිංසන සිදු කරනු ලබන්නේ රාජ්‍ය පාර්ශ්වයන්ගෙන් පමණක් නොවන බව පෙන්වා දුන් කොමිෂන් සභාව, එවැනි ක්‍රියා වැළැක්වීම, විපතට පත්වූවන් ආරක්ෂා කිරීම සහ වගවීම තහවුරු කිරීම රජයේ වගකීම බවද අවධාරණය කළේය.














