පාකිස්තානයේ ඛයිබර් පක්තුන්ක්වා පළාතේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර දෙකකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පළමු ප්‍රහාරය බදාදා දිනයේදී ලෝවර් ඩීර් (Lower Dir) දිස්ත්‍රික්කයේදී සිදුවිය. එහිදී පොලිස් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් අත්බෝම්බ සහ ස්වයංක්‍රීය අවි භාවිතා කරමින් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරකයන් විසින් පොලිස් රථ දෙකක් ද ගිනිබත් කර ඇත.
දෙවන සිදුවීම වාර්තා වූයේ බන්නු (Bannu) දිස්ත්‍රික්කයේ මිර්යාන් (Miryan) පොලිස් ස්ථානය ඉලක්ක කර ගනිමින් දියත් කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකිනි. පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් පොලිස් ස්ථානය වෙත කඩා වැදීමට උත්සාහ කළ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් එය හඳුනාගෙන විනාශ කිරීමට පියවර ගෙන ඇත. වෙඩි හුවමාරුව අතරතුර ප්‍රහාරකයන් සිව්දෙනෙකු මියගිය අතර, පොලිස් නිලධාරීන් 15 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතරින් දස දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් පේෂාවර් දිස්ත්‍රික් රෝහල වෙත යොමු කර තිබේ.
සිද්ධීන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ප්‍රදේශය වටලා පරීක්ෂණ සහ මෙහෙයුම් දියත් කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
















