වැල්ලවාය–තණමල්විල මාර්ගයේ කිතුල්කොටේ ප්රදේශයේදී යතුරුපැදියක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (26) සිදුවූ රිය අනතුරකින් පාකිස්තාන ජාතිකයෙකු බරපතළ තුවාල ලබා තිබේ. මාසයක සංචාරක වීසා මත ශ්රී ලංකාවට පැමිණ සිටි කරච්චි ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇත.
වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පාකිස්තාන ජාතිකයාගේ යතුරුපැදියේ කාර් රථය ගැටී ඇති අතර, කාර් රථය වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී කාර් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ. අනතුරට සම්බන්ධ කාර් රථයේ රියදුරු වන දෙවිනුවර, කපුගම බටහිර ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















