පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩාවක කල් ඉකුත් වූ සීනි නැවත අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට නිකුත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්ව අද (06) වටලා තිබේ. මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම සීනි තොගය සමඟ එම ගබඩාවේ කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය විසින් වලාන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලබා දුන් රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ආයතනය විසින් කල් ඉකුත් වූ සීනි නව ඇසුරුම්වල බහා, ඒවායේ කල් ඉකුත් වීමේ දිනය සහ වෙළඳ නාමය වෙනස් කරමින් වෙළඳපොළට නිකුත් කර ඇති බවයි. එමෙන්ම එහි තිබූ ඉතා දුර්වර්ණ වූ සීනි තොග නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය සඳහා විකිණීම සිදු කර ඇති බව ද හෙළි වී තිබේ. මේ අනුව ක්‍රියාත්මක වූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අදාළ ගබඩාව වහාම ක්‍රියාත්මක වන පරිදි මුද්‍රා තැබීමට කටයුතු කළේය.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ සෘජු අධීක්ෂණය යටතේ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ නියෝග පරිදි මෙම වැටලීම සිදු කෙරුණි. ස්ථානාධිපති ඉන්දික වීරසිංහ ඇතුළු ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත, පොලිස් පරීක්ෂක ජනිත කුමාර, උප පොලිස් පරීක්ෂක මධුෂාන් සහ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම මෙහෙයවා තිබේ.
















