අයිස් ක්‍රීම් කෝටු කිහිපයකින් සහ පේපර් කටර් එකකින් සිය විනෝදාංශය ආරම්භ කර, අද වන විට ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල හෙලිකොප්ටරය ඇතුළු ලොව ඕනෑම ගුවන්යානයක අතිශය නිරවද්‍ය ආකෘති නිර්මාණය කරන තරුණයෙකු පිළිබඳව පන්නිපිටියෙන් වාර්තා වේ. ඔහු නමින් ශයනක ලියනගේ ය. මාතර උපන් ඔහු වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක සේවය කරන අතරතුර මෙම සුවිශේෂී නිර්මාණකරණයේ නිරත වේ.
කොරෝනා වසංගත සමයේ නිවසට කොටු වී සිටියදී අහම්බෙන් හමු වූ අයිස් කෝටු කිහිපයකින් කුඩා ගුවන්යානයක් තනා අසල්වැසි දරුවෙකුට තෑගි කිරීමත් සමඟ ඔහුගේ මෙම ගමන ආරම්භ විය. අද වන විට ඔහු මැහෝගනී, ෆයින් වුඩ් සහ බල්සා වැනි උසස් තත්ත්වයේ දැව වර්ග භාවිත කරමින් සැබෑ ගුවන්යානය මෙන් 200 ගුණයක් කුඩා (1:200 scale) අතිශය සියුම් ආකෘති නිර්මාණය කරයි.
ඔහුගේ නිර්මාණ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ විදෙස් ගුවන් සේවාවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙනි. තමන් ප්‍රථමයෙන්ම පැදවූ හෝ දැනට සේවය කරන ගුවන්යානයේ ආකෘතියක් ළඟ තබා ගැනීමට ඔවුන් තුළ ඇති දැඩි කැමැත්ත ඊට හේතුවයි. පැරණි ‘එයාර් ලංකා’ ගුවන්යානා මෙන්ම ප්‍රසිද්ධ ගුවන් නියමුවන්ගේ පුද්ගලික ඉල්ලීම් මත ද ඔහු නිර්මාණ සිදු කරයි. ඇතැම් සංකීර්ණ ආකෘති නිම කිරීමට මාස හයක පමණ කාලයක් වැය වන අතර, කිසිදු යන්ත්‍රයකින් කළ නොහැකි අතින් නිම කළ යුතු සියුම් කොටස් පවා ඔහු අතින් නිම වේ.
පරම්පරාගත චිත්‍ර ශිල්පී පවුලකින් පැවත එන ශයනක, තමන් සතු දැනුම උනන්දුවක් දක්වන තරුණ පිරිසට ඉගැන්වීමට ද සූදානමින් සිටී. “අලුත් අයට කියන්නේ අරවා නැහැ, මේවා නැහැ කිය කියා ඉන්නේ නැතුව තියෙන දේකින් තමන්ගේ ගමන පටන් ගන්න” යන්න ඔහුගේ උපදේශයයි.














