කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, වැන්දල ගමේ පිහිටි ‘සියඹලාපිටිය වත්ත’ හෙවත් ‘වැන්දල පලතුරු වත්ත’ මේ වන විට ලෝකයේ පලතුරු ශාක විවිධත්වය වැඩිම පෞද්ගලික වත්තක් ලෙස විදේශීය කෘෂිකර්ම විශේෂඥයන්ගේ පවා ඇගයීමට ලක්ව තිබේ. අක්කර 15ක භූමි භාගයක් පුරා පැතිරුණු මෙම වත්ත පලතුරු වර්ග 550කට ආසන්න ප්‍රමාණයක එකතුවකි. මෙම සුවිශේෂී පලතුරු අරණ පිළිබඳ වැදගත් තොරතුරු මෙසේය.
මෙම වත්ත පරම්පරා තුනක උරුමයකි. වත්ත මැද පිහිටි ‘වැන්දල මහගෙදර’ 1923 වසරේ ඉදිකරන ලද්දක් වන අතර එයට දැන් වයස අවුරුදු 103කි. හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් මෙය ආදර්ශමත් පලතුරු උද්‍යානයක් ලෙස සංවර්ධනය කර ඇත. දේශීය පලතුරු වර්ග 60ක්, කොස් වර්ග 11ක්, උක් වර්ග 20ක් සහ අනෝදා වර්ග 6ක් ඇතුළු දුර්ලභ ශාක රැසක් මෙහි දැකගත හැකිය. රටඉඳි, ඇපල්, මිදි සහ ස්ටෝබෙරි වැනි විවිධ දේශගුණික කලාපවලට අයත් ශාක මෙන්ම ‘නිල් වෙරළු’, ‘පට බඹර’, ‘වැල් මදන කාම’ වැනි අතිශය දුර්ලභ ශාක ද මෙහි සුරක්ෂිතව පවතී.
සෑම ගසක් මුලම එහි විද්‍යාත්මක තොරතුරු ඇතුළත් පුවරු සවි කර ඇති අතර, පහසුවෙන් පලදාව නෙළාගත හැකි පරිදි සියලුම ගස් මීටර් 3කට වඩා උස නොයන ලෙස විද්‍යාත්මකව කප්පාදු කර නඩත්තු කෙරේ. මෙම වත්තේ ඇති පලතුරු ශාක 448ක විද්‍යාත්මක තොරතුරු ඇතුළත් කර රංජිත් සියඹලාපිටිය මහතා සහ ආචාර්ය හීන්කෙන්ද මහතා විසින් රචිත ‘මගේ වැන්දල පලතුරු අරණ’ ග්‍රන්ථය අප්‍රේල් 30 වැනිදා ජනගත කිරීමට නියමිතය.
කිසිදු අයකිරීමකින් තොරව ඕනෑම අයෙකුට නැරඹීමට විවෘතව පවතින වැන්දල පලතුරු වත්ත, පාසල් දරුවන්ට සහ පර්යේෂකයන්ට කෘෂිකාර්මික අධ්‍යාපනය ලබාගත හැකි සුවිශේෂී මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.














