පැරිසියේ පදිංචි 58 හැවිරිදි ඉංජිනේරුවෙකු වන අරි හොඩාරා (Ari Hodara), යුරෝ 100ක පුණ්‍යාධාර ලොතරැයි පතක් මිලදී ගැනීමෙන් යුරෝ මිලියනයකට වඩා වටිනා පැබ්ලෝ පිකාසෝගේ මුල් කෘතියක් දිනා ගැනීමට සමත්ව තිබේ. ක්‍රිස්ටිස් (Christie’s) වෙන්දේසි ආයතනය විසින් සජීවීව විකාශය කරන ලද උළෙලකදී ඊයේ (14) මෙම ජයග්‍රාහකයා තෝරාගනු ලැබීය.
මෙම ලොතරැයිය මගින් රැස්කරගත් යුරෝ මිලියන 12ක මුළු මුදල ඇල්සයිමර් පර්යේෂණ පදනම (Alzheimer’s Research Foundation) වෙත පරිත්‍යාග කිරීමට නියමිතය. ජයග්‍රාහකයාට හිමිවූයේ පිකාසෝගේ ප්‍රියතම නිරූපිකාවක වූ ඩෝරා මාර්ගේ රුව දැක්වෙන “Tête de femme” (ස්ත්‍රියකගේ හිස) නමැති 1941 දී නිමවන ලද සිතුවමයි. යුරෝ 100 බැගින් වූ ලොතරැයිපත් 120,000ක් මේ සඳහා අලෙවි කර තිබූ අතර, මෙය කලාව සහ මානුෂීය මෙහෙවරක් එක්තැන් කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.














