2016 සිට 2024 දක්වා වූ වසර 8ක පාර්ලිමේන්තු කාල සීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 451 දෙනකු සහ නිලධාරීන් 115 දෙනකු විදේශීය පුහුණු හා සංචාර සඳහා රුපියල් 265,861,400ක (රුපියල් කෝටි 26.5කට අධික) මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම මුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 451 දෙනකු වෙනුවෙන් රුපියල් 208,932,986ක් ද, පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනකු වෙනුවෙන් රුපියල් 56,928,414ක් ද වැය කර තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ සාර්ක් පාර්ලිමේන්තු සංගමයේ කටයුතු සඳහා මෙම සංචාර සිදු කර ඇති අතර, මෙලෙස විදෙස් සංචාරවලට සහභාගී වන නියෝජිතයන් ලබාගන්නා දැනුම හා අත්දැකීම් රටට හෝ පාර්ලිමේන්තුවට සන්නිවේදනය කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බවද එම විගණන වාර්තාවේ වැඩිදුරටත් නිරීක්ෂණය කර ඇත.














