ගල්අඟුරු ආනයනය හා ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ විමර්ශන කොමිෂන් සභාව හමුවට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අද (14) පැමිණියේය. එහිදී ඔහු විසින් 2025-26 කාලසීමාවේ ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ගුණාත්මකභාවයෙන් බාල ගල්අඟුරු භාවිතය නිසා සිදුවූ මූල්‍ය හා පාරිසරික හානිය මෙන්ම බලශක්ති සුරක්ෂිතතාවට එල්ල වූ බලපෑම් පිළිබඳව විමර්ශනය කරන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය.
විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් මෙම කොමිසම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය හමුවේ එහි ස්වාධීනත්වය පිළිබඳ මතුව ඇති තත්ත්වය පැහැදිලි කරන ලෙස ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව 2009 වසරේ සිට මේ දක්වා විවිධ කාලපරිච්ඡේදවල සිදුවූ ගල්අඟුරු ප්‍රසම්පාදන අක්‍රමිකතා, විගණකාධිපති වාර්තා සහ මීට පෙර පත්කළ විමර්ශන කොමිෂන් සභාවල ප්‍රගතිය පිළිබඳව ද සොයා බලන ලෙස රණවක මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ පෙන්වා දෙන ලදී.














