කොළඹදී ඊයේ (06) පැවති වාර්ෂික ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී 2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩකයා (Cricketer of the Year) ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිරුළු පැළඳීය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කාන්තා අංශයේ වසරේ හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.
විවිධ කාණ්ඩ යටතේ සම්මාන දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ටෙස්ට් පිතිකරු ලෙස පැතුම් නිස්සංකද, ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරියද, ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ලෙස ධනංජය ද සිල්වාද සම්මාන දිනා ගත්හ. එක්දින කාණ්ඩයේදී චරිත් අසලංක හොඳම එක්දින පිතිකරු ලෙසද, අසිත ප්‍රනාන්දු හොඳම එක්දින පන්දු යවන්නා ලෙසද, වනිඳු හසරංග හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබූ අතර, විස්සයි20 අංශයෙන් පැතුම් නිස්සංක හොඳම පිතිකරු ලෙසද, දුෂ්මන්ත චමීර හොඳම පන්දු යවන්නා ලෙසද, දසුන් ශානක හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසද තෙරපත් වූහ.
කාන්තා අංශයේදී හර්ෂිතා සමරවික්‍රම හොඳම එක්දින පිතිකරු ලෙස සම්මාන ලැබූ අතර, චමරි අතපත්තු හොඳම එක්දින පන්දු යවන්නා, එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව, විස්සයි20 පිතිකරු සහ විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස සම්මාන බහුත්වයක් දිනා ගත්තාය. කවිෂා දිල්හාරි හොඳම විස්සයි20 පන්දු යවන්නා ලෙස සම්මාන ලැබූ අතර, නැගී එන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස පිළිවෙළින් කමිල් මිශ්‍ර සහ ඉමේෂා දුලානි සම්මාන ලැබූහ.












