දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිදු කරන ලද විගණන පරීක්ෂණවලදී මෙම අස්වැසුම මුදල් වංචාවේ සම්පූර්ණ ප්‍රමාණය රුපියල් කෝටි 2කට (මිලියන 20කට) ආසන්න බව අනාවරණය වී ඇත.
මෙම වංචාවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුදල් අංශයේ තවත් නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධ බවට විගණන පරීක්ෂණයකින් හෙළිවීම හේතුවෙන්, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා හැටන් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට ඊයේ (06) පැමිණිලි කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ලැබුණු නිර්නාමික ලිපියක් මත ආරම්භ වූ මෙම විමර්ශන සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ මුදල් අංශයේ විගණන නිලධාරීන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබේ.
සැකකාර නිලධාරීන් විසින් අස්වැසුම මුදල් තමන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර ඇති අතර, මුදල් නොලැබුණු බවට විමසූ ප්‍රතිලාභීන්ට එම නිලධාරීන් තර්ජනය කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ද අස්වැසුම, සමෘද්ධි සහ අනෙකුත් සහනාධාර ගෙවීම් නිසි ලෙස සිදුවී ඇද්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ විගණන කණ්ඩායමක් පත් කිරීමට නියමිතය.












