රටේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීමට සහ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට නම් රට තුළ සාමය පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අතීතයේ දේශපාලන මැදිහත්වීම් මත ජාතීන් අතර ගැටුම් ඇති වූ බවත්, වසර තිහක යුද වාතාවරණය හේතුවෙන් රටේ නිෂ්පාදන ඵලදායිතාවට දැඩි බලපෑම් එල්ල වූ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. කම්කරු අමාත්‍යාංශයට අලුතින් පත්වීම් ලැබූ කළමනාකරණ සේවා නිලධාරීන් පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
සාමකාමී පරිසරයක් නොමැතිව සංවර්ධනය කරා ගමන් කළ නොහැකි බවත්, ගෝලීය සාම දර්ශකය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මඟින් සෑම ක්ෂේත්‍රයකම ඉදිරි ගමනක් සනිටුහන් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක් වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය රැකියා ලබා ගැනීම සඳහා දේශපාලනඥයන් පසුපස යෑමේ සංස්කෘතිය වත්මන් රජය විසින් සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇති බවයි. කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව පුද්ගලයන් 125,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති බවත්, සුදුස්සාට සුදුසු තැන ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බවත් ඔහු පැවසීය. වසර 70ක් පුරා පැවති දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවය යහපත් මාවතකට යොමු කිරීමට රජය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














