ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ආයෝජන අවස්ථා පිළිබඳව කොරියානු ආයෝජකයන් දැනුවත් කරමින්, ඔවුන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා බලන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ආරාධනා කළේය. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියන් ලී මහත්මිය සහ කථානායකවරයා අතර පාර්ලිමේන්තුවේදී පැවැති හමුවකදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
රජය විසින් දූෂණය තුරන් කිරීම, විනිවිදභාවය සහ යහපාලනය ශක්තිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව තානාපතිනිය දැනුවත් කළ කථානායකවරයා, සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැඟීමට රජය ප්‍රමුඛතාවක් ලබා දී ඇති බව පෙන්වා දුන්නේය.
දෙරට අතර පවතින සබඳතා පිළිබඳ අදහස් දක්වමින් තානාපතිනිය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සහ දූෂණ විරෝධී වැඩසටහන් සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දීමට කොරියානු ජනරජය සූදානමින් සිටින බවයි.
ලබන වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 50ක් සපිරේ. මෙම සුවිශේෂී සංවත්සරය දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු අවස්ථාවක් වනු ඇති බවත්, ඒ නිමිත්තෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර හුවමාරු වැඩසටහන් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය.
















