විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුගිය මැතිවරණවලදී පරාජය කළ බවත්, ඔවුන්ගේ ඉතිරි වී ඇති දේශපාලනයත් ඉවරම කර දැමිය යුතු බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා අවධාරණය කරයි. හෝමාගමදී පැවති ආණ්ඩුවේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි අවුරුදු 25 ඇතුළත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මුහුණට මුහුණ තරඟ කරන්නට වෙනත් පක්ෂයකින් හෝ ව්‍යාපාරයකින් නායකයෙක් බිහිවීමට නොමැති බවයි. එලෙස වෙනත් නායකයකු පැමිණීමට නම් තමා මෙන් දිව්‍ය ලෝකයෙන් වෙනත් පිරිසක් පහළ විය යුතු බවද ඔහු එහිදී පැවසීය.
පසුගිය මැතිවරණවලදී පරාජය කරන ලද්දේ දරුණුතම සංවිධානාත්මක අපරාධ, ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාලයන්ගෙන් සමන්විත වූ දේශපාලන අධිකාරියක් බව පෙන්වා දුන් ඒ මහතා, දැන් සියලු දෙනා එකතුවී ඔවුන්ගේ ඉතිරි දේශපාලනයද සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බව වැඩිදුරටත් කියා සිටියේය.














