යුක්රේන සහ මැදපෙරදිග යුද ගැටුම්වලින් ලබාගත් අත්දැකීම් පාදක කරගනිමින්, අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමේ වැඩසටහනක් ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය විසින් වේගවත් කර තිබේ. “ඩ්‍රෝන ආධිපත්‍යය” තහවුරු කිරීමේ මෙම වැඩපිළිවෙළ යටතේ, 2027 වසර වන විට ඩ්‍රෝන යානා 300,000 සිට 340,000 දක්වා වූ දැවැන්ත සංඛ්‍යාවක් ආරක්ෂක බලඇණි වෙත මුදාහැරීම ඇමරිකාවේ ඉලක්කයයි.
මෙම තීරණයට හේතු වී ඇත්තේ යුද බිම්වලදී ඩොලර් මිලියන ගණනක් වටිනා නවීන යුද ටැංකි සහ ගුවන් ආරක්ෂණ පද්ධති විනාශ කිරීමට ඉතා අඩු පිරිවැයක් සහිත සරල ඩ්‍රෝන යානා සාර්ථකව භාවිත කිරීමයි. මෙම නව ව්‍යාපෘතිය යටතේ එක් ඩ්‍රෝන යානයක නිෂ්පාදන වියදම ඩොලර් 2,300ත් 5,000ත් වැනි අවම මට්ටමකට පත් කර ගැනීමට ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය අපේක්ෂා කරයි. මේ හරහා අධික පිරිවැයක් නොදරා, යුද බිමේදී විනාශ වී යා හැකි පරිභෝජන භාණ්ඩ ලෙස මෙම ඩ්‍රෝන යානා දසදහස් ගණනින් එකවර සටන් පෙරමුණට යෙදවීමට මිලිටරි අංශවලට හැකියාව ලැබෙනු ඇත.
සාම්ප්‍රදායික ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් හරහා සිදු වූ අධික ප්‍රමාදය සහ ඉහළ පිරිවැය මගහැරීම සඳහා, පෙන්ටගනය තම කොන්ත්‍රාත් නවක තාක්ෂණික සමාගම්, සිවිල් තාක්ෂණික ආයතන සහ ඩ්‍රෝන විශේෂඥයන් වෙත විවෘත කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම ඩ්‍රෝන යානාවල මෝටර් සඳහා අත්‍යවශ්‍ය වන දුර්ලභ පස් චුම්බක සැපයුමෙන් 98%ක්ම චීනය සතු වීම, මෙම දැවැන්ත ව්‍යාපෘතිය ඉදිරියේදී මුහුණ දිය හැකි ප්‍රධානතම අභියෝගය වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















