පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ මේ වන විට අවම වශයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් 624 දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්ටගනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවල සඳහන් වේ.
තුවාල ලැබූවන් අතරින් 417 දෙනෙකු ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමට සෘජුව සම්බන්ධ වන අතර, තවත් 207 දෙනෙකු ‘විදේශීය මෙහෙයුම්’ (Overseas Operations) යටතේ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකාව සහ ඉරානය අතර අප්‍රේල් මාසයේදී සටන් විරාමයකට එකඟ වී ජූනි මාසයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවද, දෙපාර්ශ්වය අතර අඛණ්ඩව ප්‍රහාර හුවමාරු වීම් වාර්තා විය.
මියගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ දත්ත පෙන්ටගනය විසින් මෑතකදී වෙනස් කර ඇති අතර, එය තොරතුරු විනිවිදභාවය පිළිබඳ ගැටලු මතුවීමට හේතු වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු ජෙනරාල්වරුන් සහ කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ පාලනාධිකාරිය යුද්ධයේ සැබෑ තත්ත්වය සහ හානි පිළිබඳව අවංකව තොරතුරු හෙළි නොකරන බවයි.
ජූලි මස මැද භාගයේදී එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු සොල්දාදුවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ සටන් විරාමය අවසන් බව ප්‍රකාශ වූ අතර, එතැන් සිට දෙපාර්ශ්වය අතර යළිත් දැඩි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.
කෙසේ වෙතත්, පෙන්ටගන ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ දත්ත වෙනස්වීම් හුදෙක් තාවකාලික තාක්ෂණික බිඳවැටීම් (temporary data disruptions) පමණක් බවත්, අදාළ අංශ සමඟ එක්ව ඒවා නිරාකරණය කරමින් පවතින බවත්ය.














