කොළඹ වරායේ ජයබහලු පරියන්තයේ (Jaya Container Terminal) පිහිටි පැරණි ගැන්ට්‍රි ක්‍රේන් (Gantry Cranes) හතර ඉවත් කිරීම සඳහා කැඳවා ඇති ටෙන්ඩරය තෙවන වරටත් කල්දැමීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ටෙන්ඩර්කරුවන් රැසකගේ නොසන්සුන්තාව මතුව තිබේ.
රුපියල් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් මෙම ටෙන්ඩරය ප්‍රථමයෙන් ජූලි 16 වනදා අවසන් කිරීමට නියමිතව තිබූ අතර, පසුව එය ජූලි 28 දක්වාත්, මේ වන විට අගෝස්තු 11 දක්වාත් නැවත වරක් කල්දමා ඇත.
අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් වූ සමාගම් 11 අතුරින් සමාගම් 2ක් පමණක් අවසන් වටය සඳහා තේරීම හේතුවෙන් තරඟකාරීත්වය අඩු වී රජයේ ආදායමට බලපෑම් එල්ල විය හැකි බැවින්, මේ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමින් ටෙන්ඩර්කරුවන් කිහිපදෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතද ලිපි යොමු කර ඇති බව වාර්තා වේ.
පසුගිය කාලසීමාවේ කොළඹ වරායේ මෙවැනි ක්‍රේන් ඉවත් කිරීමේ ව්‍යාපෘති සඳහා දායක වූ පළපුරුදු සමාගම් රැසක්ම අවසන් තේරීමෙන් ඉවත් කර ඇති බවත්, ඉන් ඉවත් කළ සමාගම් ඉදිරිපත් කරන අභියාචනා පරික්ෂා කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් නොකර පෙර සිටි ටෙන්ඩර් කමිටුවම යොදා ගැනීම ගැටලුසහගත බවත් වරාය ක්ෂේත්‍රයේ ප්‍රකාශකයෝ පෙන්වා දෙති.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා සඳහන් කළේ ටෙන්ඩර් ක්‍රියාවලිය තවමත් සක්‍රියව සිදුවෙමින් පවතින අතර, අදාළ අනුමැතීන් ලබාගනිමින් පවතින බැවින් මෙම අවස්ථාවේදී වැඩිදුර අදහස් දැක්වීම සුදුසු නොවන බවයි.
1980 දශකයේදී සවිකරන ලද මෙම ගැන්ට්‍රි ක්‍රේන් යන්ත්‍ර වර්තමානයට අනුගත නොවන අතර, වරාය මෙහෙයුම් යාවත්කාලීන කිරීමේ පියවරක් ලෙස ඒවා ඉවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර තිබුණි.














