27 April 2024
#දේශීය

අයුක්තියට අසාධාරණයට එරෙහිව ජනතාව නැගිටුවන්න සූදානම් – ජවිපේ අනුර දිසානායක

අයුක්තියට අසාධාරණයට එරෙහිව ජනතාව සමග එකාබද්ධව අප ජනතාව නැගිටුවන්න සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය අමතමිනි.

එහිදී අදහස් පල කල අනුර කුමාර දිසානායක මහතා ” කොළඹ බී.ආර්.සී. පිටියත්, නගර සභා පිටියත් ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි පෙළපාළියෙන් එකම ජන ගඟක් බවට පත්කර තිබෙනවා. අපේ රට පත්වෙලා තිබෙන විපත, ජනතාව පත්වී තිබෙන විපත, සහ එයින් ගොඩඒමේ මාවත ගැන අපි කතා කරනවා. ඒ වගේම අපි ගැන තවත් තැන්වල කතා කරනවා. කැම්බල් පිටියේ බලු කපුටු දානයක් තිබුණාලු. ඒකෙ කියන්නෙත් ජේ.වී.පී., ජේ.වී.පී. කියලා. ගුණසිංහ පුර මඩවගුරේ කතා කරන්නෙත් අපි ගැන. තව හදාගත්ත සංවිධානයකට හයිඩ් පිටියේ, නුවර සහ තව තව තැන්වලට කැඩුණු කෑලි කතාකරන්නෙත් අපි ගැන. ඒ ඇයි? ලංකාවේ දේශපාලන බලය ඉතාමත් තීරණාත්මක ලෙස කේන්ද්‍ර දෙකකට ගොඩගැසී තිබෙනවා. එක කේන්ද්‍රයක් රට විනාශයට ගෙන යන ලද, තරුණ තරුණියන්ගේ අනාගතය විනාශ කරන ලද, බලාපොරොත්තු අහිමි කරන ලද රට විනාශ කළ ලෝකය ඉදිරියේ ණය ගෙවන්න බැරි බංකොලොත් රටක් බවට පත් කළ කේන්ද්‍රයක්. කැම්බල් පිටියේත්, හයිඩ් පිටියේත් , ගුණසිංහපුරත්, නුවර ඇතුළු තවත් තැන්වල තිබෙන්නේ ඒ කේන්ද්‍රයේ කොටස්. ඊට එරෙහිව අනිත් කේන්ද්‍රය, අපේ රටේ වැඩකරන ජනතාවගේ දැනුම, හැකියාව, ශ්‍රමය එක්තැන් කර අපේ රට ලෝකයේ උසස් මට්ටමින් ඔසවා තැබිය හැකි අලුත් රාජ්‍යයක් නිර්මාණය කිරීම පිළිබඳව සිහින පොදි බැඳගත් මේ රට නූතන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය.

අද තිබෙන බල කේන්ද්‍ර දෙක ගොඩනැගී තිබෙන්නේ ඒ ආකාරයට. ඊට අමතරව තැන තැන හතු පිපෙන්නා වාගේ ඉක්මනින් විනාශ වී යන පුංචි, පුංචි සංවිධාන තිබෙනවා. නමුත් ඉතිහාසය තීරණාත්මක සංධිස්ථානයකට වැදගත් බල සටනකට ප්‍රවේශ වී තිබෙනවා. මේ සටන අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කළ යුතුයි. එය ජයග්‍රහණය කරනවා. සමීක්ෂණ වාර්තාවකින් හෙළිකර තිබුණා අපේ රටේ ජනගහනයෙන් 68%ක් ආහාර ගන්නා ප්‍රමාණය අඩුකර හෝ ආහාර ගන්න වේල් ප්‍රමාණය අඩුකර තිබෙනවා. එහෙම නැත්නම් රළු ආහාරයක් ගන්න සිදුවී තිබෙනවා. ආහාර වේල සකසා ගන්න බැරි රටක් බවට මේ පාලකයන් විසින් පත්කර තිබෙනවා. ජනගහනයෙන් 40%ක් දරුවන්ට අධ්‍යාපනය දීම සහ සෞඛ්‍ය ලබාගැනීම කප්පාදු කර තිබෙනවා. මුළු ජනගහනනේ 88%ක් ණය ගැනීම, ණය නොගෙවා සිටීම, නැත්නම් භාණ්ඩ උකස් කිරීම සිදුකරමින් ඉන්නවා. ඒ කියන්නේ පීඩිත භාවයේ පතුළටම අපේ රටේ සාතිශය බහුතර ජනතාවක් හෙළා තිබෙනවා. 75 වසරක අවසන් ශේෂ පත්‍රය පාලකයන් විසින් සකසා තිබෙන්නේ මේ ආකාරයට. එනිසා මේ පාලකයන් අපේ රට මේ අර්බුදයෙන් අඟලක් හෝ ඔසවා තබාවි යැයි විශ්වාස කරනවාද? රනිල්, මහින්ද අලි-කපුටු හවුල මේ ප්‍රශ්න විසඳන්නේ නැහැ.
රටක අනාගතය රඳා පවතින්නේ වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාව ඒ රටේ පාලකයා සමග සහ පාලනයත් සමග කොතරම් එකතු වෙනවාද කියන සාධකය මත. ගොවි ජනතාව, ධීවර ජනතාව, පෞද්ගලික අංශයේ ජනතාව, තරුණ පරම්පරාව, රටේ බුද්ධිමතුන් හා කර්මාන්තකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලද පාලනයක් අද අපේ රටේ තිබෙන්නේ. මෙවැනි අර්බුදයකදී රට ගොඩගත හැකි වන්නේ, වැඩකරන ජනතාව සහ පොදු ජනතාව පෙළගැසී සිටින ව්‍යාපාරයකට විතරයි. අද ඒ ජනතාව ඉන්නේ අපිත් එක්ක. ඒ ජනතාවගේ ශක්තියෙන් අපි මේ රට ගොඩගන්නවා. අනිත් කඳවුරට අලුතින් එකතු කළ කිසිවක් නැහැ. පැරණි විනාශකාරී මාවතේම ගමන් කරනවා විතරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකින් බැඳී මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්නේ රට දැන් අලුත් මාවතකට පිවිසී ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලෝක වෙළඳ සංවිධානය කියන්නේ දශක ගණනාවක් ගමන් කර තිබූ මාවත මෙහෙය වූ සංවිධාන. පරිධියේ පිහිටි අපි වගේ රාජ්‍යයන්ට එදා සිට ලබාදී තිබෙන්නේ එකම ආර්ථික වට්ටෝරුවක්. රජය ක්‍රමානුකූලව හැකිළිීම මූලිකයි. ඒ අනුව යමින් පේෂකර්මාන්තය, සීනි කර්මාන්ත ශාලා, කිරිපිටි කම්හල, රාජ්‍ය වතු, යනාදී බොහෝ දේවල් අත්හැරියා. පෞද්ගලික අංශයෙන් මේවා නඟා සිටුවා තිබෙනවාද? අද ඉතිරි ටිකත් අත්හරින්න සූදානම් වෙනවා.
පසුගිය දශක කිහිපයක් තුළ රාජ්‍ය අංශයේ ආයතන සහ කර්මාන්ත 88ක් විකිණුවා. ඒවායෙන් 80%ක්ම අද කාබාසිනියා කර, විනාශ කරලා ඉවරයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ තෝරාගෙන තිබෙන මේ පාර අලුත් පාරක් නොවෙයි. විදෙස් සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ඉතිරි ආයතන විකුණන්න යනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ගිය වසරේ ලාභය මිලියන 10,410යි. ඒක විකුණලා කීයක් හරි අරගෙන දුවන්න රනිල් වික්‍රමසිංහ කැසකවනවා. ටෙලිකොම් ආයතනයේ ගිය වසරේ ලාභය මිලියන 13,844යි. ආණ්ඩුවට බදු ගෙවලා දහස් ගණනකට රැකියා දීලා මේ ලාභය ලබාගෙන තිබෙන්නේ. ලංකා හොස්පිට්ල්, ගෑස් සමාගම, වෝටර්ස්ඒජ් හෝටලය යන ලාභ ලබන ආයතන විකුණා ඩොලර් බිලයන හතරක් ලබාගෙන එදාවේල ගත කරන ආර්ථික ක්‍රියාවලියක මේ යන්නේ. විකුණා කෑම හැර වෙන උත්තරයක් ඔවුන්ට නැහැ. ඒ වගේම දැන් ණය කප්පාදු කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඇවිත් තිබෙනවා. පසුගිය දිනවල ජාත්‍යන්තරයෙන් ලබාගත් ණය කපා හැරිම ගැන ආඩම්බරයෙන් කතා කළා. ණය කපා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ආයතනයකුත් ඩොලර් ලක්ෂ 50ක් ගෙවලා කුලියට ගත්තා. කට්ටිය බලාගෙන හිටියා විදේශීය ණය කපයි කියලා.

නමුත් නිව්යෝර්ක් නුවරට මහ බැංකු අධිපතිවරයා මුදල් රාජ්‍ය ඇමතිවරයාත් ගියා. සූම් තාක්ෂණයෙන් රනිල් වික්‍රමසිංහත් කතා කර තිබුණා. ජාත්‍යන්තර ණය කැපීමට කලින් ආණ්ඩුව අරගෙන තිබෙන දේශීය ණය කපන්න කියලා ඔවුන් කොන්දේසියක් දැම්මා. ආණ්ඩුව ටි්‍රලියන 27ක ණය අරගෙන තිබෙන බව මහ බැංකුව කියනවා. මූල්‍ය අරමුදල කියනවා ටි්‍රලියන 30ක් කියලා. ජනගහනය දෙකෝටි විසි ලක්ෂයයි. ණය කෝටි තිස් ලක්ෂයයි. රුපියල් කෝටි 27 ලක්ෂයෙන් කෝටි 13 ලක්ෂයක් දේශීය ණය. දේශීය ණය කප්පාදු කරන්න සූදානම් වෙනවා. ආණ්ඩුවට ණය දීලා තිබෙන්නේ මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ඇතුළු වාණිජ බැංකු හා මූල්‍ය සමාගම්. මේ ණයවලින් 1/3කට ආසන්න මුදලක් ලබාදී තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලෙන්. මැයි මාසයේදී දේශීය ණය කපා හරින සැලැස්ම ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනෑ. මේ ණය දී තිබෙන ලංකා බැංකුවේ මුළු තැන්පත් බිලියන 3356ක් තිබෙනවා. එයින් බිලියන 1566ක්, 53%ක් ණය දී තිබෙන්නේ ආණ්ඩුවට. භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වලින් මේ ණය දී තිබෙනවා. ජනතාවගේ තැන්පතුවලින් ආණ්ඩුවට ණය දුන්නා. ආණ්ඩුව දැන් ඒ ණය කපාහරින්න යනවා.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුළු තැන්පතුවලින් 65%ක් ආණ්ඩුවට ණය දී තිබෙනවා. මහජන බැංකුවේ මුළු තැන්පතුවලින් 38%ක් ආණ්ඩුවට ණය දී තිබෙනවා. තැන්පත්කරුවන්ගේ සල්ලිවලින් දී තිබෙන ණය කප්පාදු කරන්න සූදානම් වෙනවා. පුද්ගලික බැංකු දෙකක් ණය කප්පාදු කිරීම ප්‍රතික්ෂේප කළා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී තර්ජනය කළේ ණය කැපීමට එකඟ නැත්නම් බැංකුවලට ආර්ථිකය බාර ගන්න කියලා. ආණ්ඩුව ණයට ගත් සල්ලි සොරකම් කර, විනාශ කර, දැන් ණය කපා හරින්න යනවා. මුළු බැංකු පද්ධතියම අනතුරකට හෙළන්න සූදානම් වෙනවා. සේවක අර්ථසාධක අරමුදලෙන් 96%ක් ණය දී තිබෙන්නේ ආණ්ඩුවට. වැඩකරන ජනතාවගේ සල්ලි බිලියන 3500ක් ආණ්ඩුවට ණය දී තිබෙනවා. මේ ණය කපාහැරීම කියන්නේ වැඩකරන ජනතාවගේ ධනය කපා හැරීමක්. රනිල් වික්‍රමසිංහලාගේ සල්ලිවලින් කපා හැරීමක් නොවෙයි. අධ්‍යාපන වියදම් කප්පාදු කරන්න ආකාර ගණනාවකින් ක්‍රියාත්මක වී තිබෙනවා. මෙතෙක් අනුගමනය කළ දේශපාලන සංස්කෘතිය හේතුකොට ගෙන රට මුඩුබිමක් බවට පත්වුණා. ආර්ථිකය වවුල් හපයක් බවට පත් කළා. ජන ජීවිතය විනාශ කළා.

දැන් ගොඩඑන්න හදන්නේ නැවත නැවතත් ජනතාව පීඩාවට පත්කරමින්. රනිල් වික්‍රමසිංහත් ඔවුන්ගේ ගෝල බාලයිනුත් ජනතාව නිවට නියාලුව බලාහිඳීවි යැයි කල්පනා කරනවා නම්, ඒක එහෙම වෙන්නේ නැහැ. ජනතාව පෙළන මේ අයුක්තියට අසාධාරණයට එරෙහිව ජනතාව සමග එකාබද්ධව අපි ජනතාව නැගිටුවන්න සූදානම්. රනිල් සටන් කරන්නේ ව්‍යවස්ථාවේ වගන්ති ඇතුළේ පාර්ලිමේන්තුවේ. හැබැයි අපි ජනතාවත් එක්ක සටන් කරන්නේ. ව්‍යවස්ථාවේ වගන්තිද ජනතාවගේ බලයද කියලා අපි හැප්පිලා බලමු. මේ නිසා මර්දන නීති ගේන්න සැලසුම් කර තිබෙනවා. ජනතාව බිය කරන, ජනතාව නිහඬ කරන ප්‍රතිත්‍රස්ත පනත ගේන්න සැලසුම්කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර පරාජය කළ හැකි, සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. නමුත් මේ පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රනිල්ගේ දේශපාලන ඇප මත ඉන්නේ. ඒ නිසා ඔය කණ්ඩායම මොන පනතත් ගෙනාවත් අත ඔසවනවා. දූෂිත, විනාශකාරී කණ්ඩායමෙන් මේ පනත සම්මත කර ගත්තත් මහජනයාගේ බලය හමුවේ හුදු කඩදාසි බවට පත්වීම වැළැක්විය නොහැකි බව රනිල් වික්‍රමසිංහ මතක තබා ගත යුතුයි. අපේ රටේ ජනතාව එළිමහන් සිරකඳවුරකට ගාල් කරන්න උත්සාහ කරනවා නම් මේ රටේ ජනතාව ඊට සූදානම් නැති බවත් අපේ නායකත්වයෙන් ඒ සියල්ල පරාජය කරන්න සූදානම් බව අපි ශපත කර කියා තිබෙනවා.
මේ විනාශකාරී තත්වයෙන් රට මුදා ගත හැකි වන්නේ දූෂිත පැලැන්තියෙන් පොදු ජනතාව අතට බලය ලබා ගැනීමෙන් පමණයි. මේ සටන ජයග්‍රහණය කරන්න නම්, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සහ වතු ජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි. උතුරෙන් දෙමළ සහෝදර සහෝදරියන් වැඩිම පිරිසක් සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය මේක. මුස්ලිම් සහෝදර සහෝදරියන් වැඩිම පිරිසක් සහභාගී වන මැයි රැලිය මේක. වතුකරයේ ජනතාව වැඩිම පිරිසක් සහභාගී වූ මැයි රැලිය මේක. උතුරත්, දකුණත්, නැගෙනහිරත්, බටහිරත් ඒකාබද්ධ කළ හැකි ජනතා ව්‍යාපාරයකට පමණයි මේ අරගලය ජය ගත හැක්කේ. උතුර, නැගෙනහිර, වතු ආදී වශයෙන් කේන්ද්‍රකොට ගත් දේශපාලන ව්‍යාපාර තිබෙනවා. අපි මුළු රටේම ජනතාව එකට කේන්ද්‍රකර ගත් ව්‍යාපාරයක්. දෙමළ භාෂාව කතා කරන විශාල ප්‍රමාණයක් මේ අවස්ථාවට සම්බන්ධ වන නිසා මෝගන් සහෝදරයා මෙය පරිවර්තනය කරන්න සහභාගී කර ගන්නවා.

උතුරේ දිග්ගැහුණු යුද්ධයක් තිබුණා. ජීවිත දහස් ගණනක් අහිමි වූ සමාජයක් උතුරේ තිබෙනවා. දරුවන් අහිමි වූ අම්මලා ඡායාරූපය අරගෙන පාරේ උද්ඝෝෂණය කරන හැටි අපි දකිනවා. ස්වාමියා නැති බිරින්දෑවරු දරුවන් නැති අම්මලා වේදනා විඳින උතුරක් තිබෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ විසඳුම් අපේක්ෂා කරන ජනතාවක් ඉන්නවා. 1921 දී විසඳුම් පිළිබඳව පළමු සාකච්ඡාව පවත්වා දැන් අවුරුදු සියයකට වඩා වැඩිවෙනවා. මේ දේශපාලකයන්උතුරත් දකුණත් දෙකම රැවැට්ටූවා. තම ජීවිත කාලය තුළමේ රටේ ජනතාව විසඳුමක් සොයා විවිධ නායකයන්ට ඡන්දය දී තිබෙනවා. නමුත් අවුරුදු සියයකට වඩා වැඩි කාලයක් එම ජනතාවගේ ඇත්ත ගැටලුවලට සාධාරණ විසඳුමක් ලබාදෙන්න ඉල්ලීම් තිබුණත් තාමත් විසඳුම් ලබාදී නැහැ. සැමදාම රැවටීමට ලක්කළා. 2015දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට අලුත් ව්‍යවස්ථාවක් හදන්න පාර්ලිමේන්තු කමිටුවක් පිහිටෙව්වා. රනිල් වික්‍රමසිංහ ඒ කමිටුවේ සභාපති හැටියට අවුරුදු හතරහමාරක් සාකච්ඡා පැවැත්වූවා. ලාල් විජේනායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් මහජන අදහස් ලබාගන්න කමිටුවක් පත් කළා. රටේ සියලුම ප්‍රදේශවලට ගිහින් ජනතාවගෙන් යෝජනා ගත්තා. පිටු දහස් ගණන් පුරවා වාර්තා හැදුවා. රැස්වීම් 82ක කමිටු මුලසුන රනිල් වික්‍රමසිංහ දැරුවා. නමුත් ප්‍රතිඵලය බිංදුවයි.

උතුරේ ජනතාව රැවටීමට ලක්කළා. උතුරේ දේශපාලනය දකුණේ දේශපාලනයෙන් වියුක්ත වෙලා යන දේශපාලනයක් නොවෙයි අපට තිබෙන්නේ. උතුරේත් දකුණේත් ජනතාවට බලපාන පොදු දේශපාලන ප්‍රශ්න තිබෙනවා. නමුත් උතුරේ ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය, ඔවුන්ට වෙනම බලපාන ප්‍රශ්න පිළිබඳ සුවිශේෂී ගැටලු තිබෙනවා. අපේ රටේ දෙමළ ජනතාවගේ නායකයන්ට රටේම නායකයන් හැටියට ගොඩනැගෙන්න පුළුවන්ද? කළු සුදු වර්ගවාදී විශාල යුද්ධයක් තිබුණු එක්සත් ජනපදයේ කළු ජනාධිපතිවරයෙකු අවුරුදු සිය ගණණකට පසුව හරි බිහිවුණා. සියවස් ගණනාවකට පසුවහරි එංගලන්තයේ ඉන්දියන් සම්භවයක් සහිත පුරවැසියෙකු අගමැති ධුරයට පත්වුණා. අසල්වැසි ඉන්දියාවේ මුස්ලිම් භක්තිකයන් ජනාධපති ධුරයට පත්වුණා. සුළුතර ‘සික්’ ජාතිකයන්ගෙන් අගමැතිවරයෙක් පත්වුණා. එවැනි බලාපොරොත්තුවක් තබාගැනීමට ඉඩක් අපේ රටේ තිබෙනවාද? සිංහල, දෙමළ, මුස්ලිම් කාගෙත් සමගියෙන් පිරුණු රටෙක් නිර්මාණය කිරීමේ උතුරත්, දකුණත් පිළිගන්නා සැලැස්මක් ජනතාවගේ අනුමැතියෙන් ක්‍රියාත්මක කළ හැකි වන්නේ අපි සෑමදෙනෙක්ම එක්වී නිර්මාණය කළ පාලනයකට විතරයි.

අවුරුදු 150ක් 200ක් කාලය ඇතුළත ඔවුන් අපේ රටට ආවා. තමන්ට කියලා දෙයක් හිමි නැති ලක්ෂ තුනහමාරක් ඉන්නවා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් වතු පාලනය කරන කාලයේ ලබාදුන් ලැයිම්, කළමනාකරණ සම්ප්‍රදායන් තාමත් ඒ විදිහයයි. ජනගහනයෙන් 50%ක් දරිද්‍ර රේඛාවෙන් යට ජීවත් වෙන්නේ. තමන්ට ආහාර වේලක් සපයා ගත නොහැකි තත්වයට ඔවුන් පත්වී තිබෙනවා. අවුරුදු පහට වඩා අඩු දරුවන්ගෙන් 25%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මාස 08කට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව වතුකරයේ ජනතාව හඳුන්වන්නේ වහල් කුලී සේවකයන් ලෙස. පැරණි වහල්ක්‍රමයේ සියලු නෂ්ටාවශේෂ වතුකරයේ අදටත් තිබෙනවා. මේ ජනතාවට ජීවිතයක් ඕනෑ නැද්ද? සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් සහෝදරත්වයෙන් ජීවත් වෙන හැමකෙනාටම ගරු කරන, හැම කෙනාම සාධාරණයෙන් පිළිගන්නා නව පාලනයක් අපිට ඕනෑ. ඒ වෙනුවෙන් අපි සියලු ජනතාවට ආරාධනා කරනවා. මෙතෙක් සිටි සාම්ප්‍රදායික මුස්ලිම් නායකයන් ජනතාව අමතක කර, දූෂිත පාලකයන්ගේ පැත්ත ගත්තා. අමාත්‍ය ධුර ගන්න එහෙට මෙහෙට පැන්නා. නැගෙනහිරින් ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් එහෙට මෙහෙට විකිණෙනවා. 2019 දී මුස්ලිම් නායකයන් නැගෙනහිරදී කීවේ ගෝඨාභය බලයට ඇවිත් ජනතාවට අනතුරු සිදුකරන බවත් එයින් මිදීමට මුස්ලිම් නායකයන් බලයට පත්කළ යුතු බවත්ය.

එහෙම ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට ඇවිත් ගෝඨාභයගේ බලය වැඩිකර ගන්න ගෙන ආ 20වැනි සංශෝධනයේදී ඊට පක්ෂව මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් හතර දෙනෙක් ඡන්දය දුන්නා. රිෂාඩ් බදුර්දීන්ගේ මන්ත්‍රීවරුන් තුන්දෙනෙක් ගෝඨාභයගේ බලය ශක්තිමත් කරන්න ඡන්දය දුන්නා. නැගෙනහිර ජනතාව මේ රැවටීම දන්නවා. ඒ නිසා නව, තරුණ, ප්‍රගතිශීලී, නායකයින් නැගෙනහිරට අවශ්‍ය වෙනවා. අලුත් තරුණ පරම්පරාවක් මේ නව දේශපාලන වෙනසත් එක්ක නැගෙනහිරම ඒකාබද්ධ කරමින් ඉන්නවා. මේ අරගලය ශක්තිමත් කරන්න උතුර, දකුණ, නැගෙනහිර, බටහිර එකට එකතු වී කළ යුතු සටනක් තිබෙනවා. අපි හැමෝම එකම පීඩකයාගේ ගොදුරු. පොදු ජනතාව අපි හැමදෙනාම සිංහල, දෙමළ, මුස්ලිම් කවුරුත් විනාශකාරී පාලකයන්ගෙන් පීඩාවට පත්වුණු පොදු ජනතාවක්. ඒ නිසා අපි හැමෝටම සියලු ජනතාව ඒකාබද්ධ කරන සටනක් තිබෙනවා. අන්න ඒ සටන දියත් කරන්න උතුරෙන් දකුණෙන් නැගෙනහිරින් වතුකරයෙන් සම්බන්ධ වී සිටින දෙමළ, මුස්ලිම් සහෝදර සහෝදරියන්ට විශේෂ කාර්යභාරයක් තිබෙනවා. අපි හැමෝටම එකට ඉන්න පුළුවන් ශක්තිමත් කුඩයක් හදලා තිබෙනවා. අපි හැමදෙනාටම එකට සෙවන දෙන එක කුඩයක් යටට මේ රටේ පොදු ජනතාව කැඳවමු. ඒ සඳහා මේ මැයි දිනය ඉතාම ශක්තිමත් පියවරක් කරගනිමු. අපේ සහෝදරත්වයේ හඬ, අපේ සහෝදරත්වයේ දෑත්, ඉතාමත් උණුසුමෙන් වැළඳ ගන්න කියලා හැමදෙනාටම ආරාධනා කරනවා.

අපි දීර්ඝ කාලයක් මේ දේශපාලනයේ යෙදුනා. ඒ කාලය තුළ ජයග්‍රහණ මෙන්ම පසුබෑම් තිබුණා. අපි ඉතාමත් අසීරුතම අවදීන් ගත කළා. එහෙත් අපි කිසිසේත් අත්හරින්නේ නැති විශ්වාසයක් තිබෙනවා. එදා රෝහණ විජේවීර සහෝදරයා කියා දුන් “ඊයේ අපට ඇහුම්කන් නොදුන් කන් අද ඇහුම්කන් දෙනවා. අද ඇහුම්කන් නොදෙන කන් හෙට ඇහුම්කන් දෙනවා” මේ වන විට රටේ සාතිශය බහුතර ජනතාවක් අපට ඇහුම්කන් දෙනවා. ඒ වගේම විශ්වාසය තබා තිබෙනවා. අසීරුම කාලයේ පසුනොබැස ධෛර්යය සම්පන්නව අපි ඒ වචන විශ්වාස කළා. අද අපේ ඇස් ඉදිරියේ ඒ තත්වය විද්‍යාමාන වෙමින් තිබෙනවා. රට තුළ පමණක් නොවෙයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දස දහස් ගණනක් මේ ව්‍යාපාරය සමග ඒකාබද්ධ වෙමින් සිටිනවා. අපි මේ සුබ සිහිනය කාලයක් තිස්සේ දැක්කා. අපි පසු බැස්සත් ඒ සුබ සිහිනය පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා. අපිට විශාල අවලාද නැගුවා. අපට මොනවාද නොකීවේ. පුද්ගලික ජීවිත; දේශපාලන ජීවිත; දේශපාලන උපක්‍රම පිළිබඳව අපට මොනවාද නොකීවේ. එහෙත් ඒ සියල්ල දරාගනිමින් මෙය ජයග්‍රහණයෙන් කෙළවර කරනවා කියන විශ්වාසයෙන් කටයුතු කළා. අපිත් එක්ක එකට කරට අත දාගෙන මේ ගමන ගමන් කරමින් සිටි අය එළියට ගිහින් අපිට අවලාද නැගුවා. බිඳ වට්ටන්න උත්සාහ කළා. කුමන්ත්‍රණ කළා. සමහර ඔත්තු සේවාවන් එක්ක එකතු වුණා. පාලක කණ්ඩායම් සමග එකතු වුණා. මේ ගමන අඩපණ කිරීම සඳහා සතුරන්ට වඩා ද්‍රෝහීන් සමග එකතු වී කටයුතු කළා.

ඒ සියල්ල අපි දරා ගත්තා. ඉවසීමෙන් වැඩ කළා. මේ රටේ පොදු ජනතාව කෙරෙහි අතිමහත් බලාපොරොත්තුවෙන් සහ විශ්වාසයෙන් අපි ඉදිරියට ආවා. මේ මැයි දිනය පවත්වන්න අපි ඉල්ලුවේ ගෝල්ෆේස් පිටිය. රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. ගෝල්ෆේස් පිටිය ආගමික වැඩසටහන්වලට පමණක් ලබාදෙන්න. කාලයක් අපි රැස්වීම පැවැත්වූ බී.ආර්.සී. පිටිය වගේ තුන් ගුණයකට වැඩි සෙනඟක් පාරේ අද හිටියා. බස්රථවලට බී.ආර්.සී. පිටියට ළඟාවීමට බැරි වුණා. කිලෝ මීටර් ගණනක් දුර අපේ සහෝදර සහෝදරියන් බස් රථවලින් බස්සවන්න සිදුවුණා. පරිසර තත්වය, ආර්ථික තත්ත්වය, ජීවන වියදම දරා ගැනීම, වගේ සියලුම අසීරුතම තත්වයන් තුළදී පවා ලක්ෂ සංඛ්‍යාත සහෝදර සහෝදරියන් පිරිසක් අද මෙතනට ඇවිත් සිටිනවා. ඉවසිලිවන්තව සැලසුම්සහගතව පියවරෙන් පියවර ජයග්‍රහණ සඳහා අපි ජනතාව මෙහෙයවා තිබෙනවා. අනෙක් සියලු දේශපාලන පක්ෂ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන විට සියලු ජනතාවගේ අනාගතය සහ විශ්වාසය බවට මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනංවා තිබෙනවා. දුෂ්කර කාලය අත්නොහැර අපිට ලියලා, අපි වෙනුවෙන් කතා කරලා, අපිට උපකාර කරලා, කටයුතු කළ විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස නොවෙන්න මේ ව්‍යාපාරය මෙතෙනට ගේන්න ලැබෙන්නේ නැති බව ස්තුති පූර්වකව මතක් කරනවා.

නමුත් මූලික කාර්යය අවසන් වුණත් අවසන් කාර්ය තීරණාත්මකයි. රනිල් වික්‍රමසිංහලාට පාර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ බලය තිබෙනවා. මහජන බලය අපට තිබෙනවා. රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂිකයි කියලා සුගතදාස ක්‍රීඩාංගණයේ බාගයක් වහලා ටික දෙනෙක් දාලා ‘සූම්’ එකෙන් මැයි රැලිය අමතනවා. ජනතාවගේ බලයක් නැහැ. ව්‍යවස්ථාව ඇතුළේ පාර්ලිමේන්තුවේ 134කගෙන් අටවා ගත් ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිසකගෙන් පත්වී ඉන්නවා. පළාත් සභා නැහැ. ප්‍රාදේශීය සභා නැහැ. පාර්ලිමේන්තුවෙන් අටවා ගන්නා ජනාධිපතිකමක් තිබෙනවා. ව්‍යවස්ථාවේ බලය, පාර්ලිමේන්තු බලය, ජනාධිපති බලය ඒ පැත්තේ තිබෙනවා. අපිට මහජනයාගේ බලය තිබෙනවා. අවසානයේ සහතික වශයෙන්ම බැර වෙන්නේ ජනතාවගේ බලයට. ඒක අතිශය තීරණාත්මක බල සීරුමාරුවක්. පාර්ලිමේන්තුවේ ඡන්දය ඉල්ලලා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තු යනවා වගේ නොවෙයි. වෘත්තීය සමිතියක් පිහිටුවලා පාරට ඇවිත් අරගලයක් කරනවා වගේ නොවෙයි. ගොවි උද්ඝෝෂණයක් කරනවා වගේ නොවෙයි. ඉතාමත් තීරණාත්මක සංධිස්ථානයකට අපි ඇවිති සිටිනවා. සතුරා අතිශයින්ම කලබල වී සිටිනවා. පාර්ලිමේන්තුවේ අපි වටේටම තිබෙන්නේ ආණ්ඩුවේ කටහඬවල්. අපිට සාමාන්‍යයෙන් දවසකට කතා කරන්න හම්බ වෙන්නේ විනාඩි 10යි. හැබැයි මහජනතාව ළඟට ආවොත් ඒ ගොල්ලෝ ටිකයි, අපිට මහා ජන ගංගාවක්.
මේ වෙලාවේ දේශපාලන තීන්දු තීරණ ගැනීම අතිශයින්ම තීරණාත්මකයි. කලබලේට, හැඟීමට යටත් වෙලා සතුරා කපන බොරු වලේ වැටෙන්න හෝ මරුවැල පාගන්න අපිට අයිතියක් නැහැ. මේ රටේ ජනතාව කෙරෙහි අපට වගකීමක් තිබෙනවා. රටේ ජනතාව ගැන වගකීම මේ ව්‍යාපාරය අතට ඇවිත් තිබෙනවා. අනාගතය නිර්මාණය කිරීමේ වගකීම අපේ දෙවුර මත පැටවී තිබෙනවා. කඩා වට්ටවන ලද රාජ්‍යය ගොඩනැගීමේ වගකීම අපට පැවරී තිබෙනවා. ලෝකයේ පිළිගන්නා රටක් බවට රට ගොඩනැගීමේ වගකීම අපට තිබෙනවා. මේ රටේ සියලු ජනතාවගේ බලාපොරොත්තුව සහ සිහිනය බිඳවැටෙන්න ඉඩ නොදී ජයග්‍රහණය කරා සූක්ෂමව මෙහෙය විය යුතුයි. එදා ඔවුන් ආණ්ඩු කළ අතර, කුඩා කණ්ඩායමක් ලෙස අපි බලපෑම් කළා. ඒ ඉතිහාසයේ සටන අද මේ රට නැති බංගස්ථාන කරපු පැලැන්තියෙන් පොදු ජනයා අතට බලය ලබාගැනීමේ අරගලයට පැමිණ තිබෙනවා. මෙතෙක් අපි කළ හැම සටනකටම වඩා තීරණාත්මක සටනක්, මෙතෙක් කළ දේශපාලනයට වඩා තීරණාත්මක දේශපාලනයක් අපි හැමදෙනාම අවදියෙන්, බුද්ධියෙන්, කල්පනාවෙන් සූක්ෂමව කළ යුතු වෙනවා. ජනතාවගේ ප්‍රාර්ථනා බිඳවැටීමට නොදී මේ යාත්‍රාව ජයග්‍රහණය කරා ගෙනයාම වෙනුවෙන් ඒකරාශී වී සිටින හැමදෙනාම තව තවත් ජනතාව සංවිධානය කරමින් හැමදෙනාගේම මුව මුව නැඟෙන හඬ බවට පත් කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාම ඒකරාශී වී කටයුතු කරමු කියා ආරාධනා කරනවා යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *