27 April 2024
#දේශීය

ලංකාවේ මිනිස්සුන්ට එන්නත දෙන්න පස්සෙන් යන්න වෙලා – ඇමැති කෙහෙලිය

කොවිඩ් පාලන ක්‍රියාවලියේදී ලොව වෙනත් රටවල ජනතාව එන්නත් ලබා දෙන ලෙස එම රටවල රජයන්ගෙන් ඉල්ලීම් කළද මෙරට රජය ජනතාව පසුපස ගොස් එන්නත් ලබාදීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) අන්තර්ජාතික රතු කුරුස සම්මේලනයේ මහ ලේකම් Jagan Chapagain මහතා හමු වු අවස්ථාවේදිය.

එන්නත් මාත්‍රා තුනක් ජනතාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය ගනු ලැබූ දැවැන්ත ක්‍රියාමාර්ගය රටෙහි කොවිඩ් පාලනයට බලපෑ ප්‍රමුඛතම සාධකය වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේදී පළමු හා දෙවන එන්නත ලබාගැනීමේදී ජනතාව තුළ තිබූ උද්යෝගය විවිධ දුර්මත හේතුවෙන් තෙවන එන්නත ලබාගැනීමේදී නොමැති තත්ත්වයක් පෙන්නුම් කරන බවත්, එහෙත් ඒ වෙනුවෙන් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවත් අමාත්‍යවරයා කීය. කොවිඩ් ව්‍යාප්තියේ හා මරණ අනුපාතයේ පහළ අගයක් පෙන්නුම් කරන විට ජනතාව තෙවන එන්නත පිළිබඳව එතරම් උනන්දුවක් නොදැක්වූ බවද එහෙත් එම අගයන්හි වැඩිවීමක් පෙන්නුම් කරන විට ඒ තුළ පවතින උනන්දුව ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා කීය. කෙසේ වුවුද ඉදිරි මාස කිහිපය තුළ බූස්ටර් එන්නත ඉලක්කගත ජනතාවට ලබාදීමට හැකි වනු ඇතැයි අමාතවරයා විශ්වාසය පළ කරයි.

සමහර රටවල් තවතමත් එන්නත්කරණයට යොමු නොවුණු තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ඉලක්කගත ජනගහනයෙන් 95% ට දෙවන එන්නත ලබාදී ඇතැයිද ළමුන්ගෙන් 98% ට පමණ එන්නත් ලබාදී ඇතැයිද රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එන්නත්කරණය සඳහා ජනතාව වඩාත් උනන්දු කරවීම වෙනුවෙන් දිවයින පුරා මධ්‍යස්ථාන රැසක් මෙන්ම බොහෝ පොදු ස්ථාන වෙන්කර ඇතැයිද එමෙන්ම ජනතාව හඹාගොස් සිදු කරන ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලවල් රැසක්ද ක්‍රියාවට නංවා ඇතැයිද හෙතෙම පැවසීය.

කොවිඩ් ව්‍යසනයේදී ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙරට සාර්ථක කොවිඩ් පාලනය වෙනුවෙන් ඉහළ සහයෝගයක් ලබාදුන් බවද අන්තර්ජාතික රතු කුරුස සම්මේලනය ඒ වෙනුවෙන් ලබාදුන් සහයෝගයට ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා කීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මෙරට සභාපති ජගත් අබේසිංහ,අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර, අන්තර්ජාතික රතු කුරුස සම්මේලනයේ ඉන්දියානු කලාපීය සභාපති උදය කුමාර් රිග්මි යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *