27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවෙන් ජනතාව බලාපොරොන්තු දේ කල යුතුයි – මන්ත්‍රි කුමාරසිරි

පාර්ලිමේන්තුවෙන් ජනතාව බලාපොරොත්තු වන, ජනතාව වෙනුවෙන් කළයුතු කාර්ය භාර්යය මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කවුරුන් හෝ ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා පවසයි.

ඒ මහතා අද (08)පොදුජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතාමත්ම සාර්ථක අයවැයක් මෙවමර ඉදිරිපත් කරන්න කටයුතු කරලා තිබෙන බවයි.

එහිදී කුමාරසිරි රත්නායක මහතා මෙසේ අදහස් පල කලේය “විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයට මුල්තැන දෙන, ග්‍රාමීය යටිතල පහසුකම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන අයවැයක් විදිහට මේ අයවැය හඳුන්වන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම තවත් හඳුනාගත් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නත් අවධානය යොමුවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ කණ්ඩායම පසුගිය දින තුනක් තිස්සේ පාර්ලිමේන්තුව වර්ජනය කළා. අපි පහුගිය කාලය තුළම දැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු තමන්ට වෙන්කර කාලය තුළ පෞද්ගලිකව එක් එක් අයට මඩගහන්න පාවිච්චි කරනවා. ඒ නිසා රටේ ජනතාව අපේක්ෂා නොකරන දේවල් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රිවරු පහුගිය කාලය තුළ ඔවුන්ගේ හැසිරීම් තුළින් අපිට දකින්න පුළුවන් වුණා. ඒ නිසා අපි ඒ ගැන කණගාටු වෙනවා. අද පාර්ලිමේන්තුවට මේ කණ්ඩායම පැමිණිලා තිබෙනවා. ඊයේ දවසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ විපක්ෂයේ භූමිකාවේ නොවුනත් එතුමා මන්ත්‍රිවරයෙක් විදිහට විපක්ෂයේ කාර්ය භාර්යය ඉෂ්ට කළා. ඉතින් හෙට දවසේ මේ පාර්ලිමේන්තුවෙන් ජනතාව බලාපොරොත්තු වන, ජනතාව වෙනුවෙන් කළයුතු කාර්ය භාර්යය මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කවුරුන් හෝ ක්‍රියාත්මක කළ යුතුයි. අද රටේ පවතින කොරෝනා වසංගත තත්වයන් එක්ක රට ආර්ථික වශයෙන් යම්කිසි පසුබෑමක සිටිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදි රටේ අපනයන ආදායම වැඩි කරන්න. අවශ්‍ය එන්නත්කරණය මේ වන විට ක්‍රමක්‍රමයෙන් රටපුරාම ක්‍රියාත්මක වෙනවා. ඉතාම කෙටි කාලයකදි මේ වසංගත තත්වය අවසන් වෙලා රටේ ආර්ථිකය ඉතාම හොඳ තැනකට පත්වෙයි කියලා විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අතිගරු ජනාධිපතිතුමා, අග්‍රමාත්‍යතුමා විසින් අපිට ලබා දෙනවා. ඒ තුළින් සංවර්ධන ඉලක්කයන් වගේම ජනතාවට අවශ්‍ය සුභසාධනය ලබා දෙන්න අපිට පුළුවන්කම තිබෙන බව විශ්වාස කරනවා. ” යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *