ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නවතම වාර්තාවලට අනුව, 2026 වසරේ පළමු කාර්තුව තුළ විගමනික ශ්‍රමිකයන් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 26.5%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය පවසන්නේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.294ක මුදලක් මෙරටට ලැබී ඇති බවයි.
මෙම වර්ධනය මාසිකව විශ්ලේෂණය කිරීමේදී ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 751ක්ද, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 729ක්ද සහ මාර්තු මාසයේදී ඩොලර් මිලියන 815ක්ද වශයෙන් ප්‍රේෂණ ලැබී ඇත. පසුගිය 2025 වසරේ පළමු මාස තුන තුළ ලැබී තිබුණේ ඩොලර් බිලියන 1.815ක ප්‍රේෂණ ප්‍රමාණයකි. ඒ අනුව මෙවර ලැබී ඇති ප්‍රමාණය ඩොලර් මිලියන 479ක දළ වර්ධනයක් ලෙස සටහන් වේ.
මෙම ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස කාර්යාංශය පෙන්වා දෙන්නේ රජයේ මූල්‍ය ප්‍රතිපත්ති කෙරෙහි ඇති විශ්වාසය සහ විනිවිදභාවය ඉහළ යාමයි. එමෙන්ම උන්ඩියල් හෝ හවාලා වැනි නීති විරෝධී ක්‍රම වෙනුවට බැංකු පද්ධතිය වැනි නිත්‍යානුකූල මාර්ග ඔස්සේ මුදල් එවීමට ශ්‍රමිකයන් උනන්දු කරවීම ද මෙයට සෘජුවම බලපා තිබේ. විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රගතිය දත්ත මගින් තහවුරු වන අතර, මෙම වසරේ මුල් මාස තුන තුළ පමණක් ශ්‍රමිකයන් 62,145 දෙනකු රැකියා සඳහා විදේශ ගත වී ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.















