අමෙරිකානු රජයේ ප්‍රධානතම HIV/AIDS මර්දන වැඩසටහන වන PEPFAR හි ප්‍රධාන විද්‍යා නිලධාරී වෛද්‍ය මයික් රීඩ් (Mike Reid) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් විදේශ ආධාර කප්පාදු කිරීම සහ සෞඛ්‍ය ආධාර දේශපාලන හා වාණිජමය වාසි සඳහා යොදා ගැනීම ඔහු දැඩි ලෙස විවේචනය කර ඇත.
වෛද්‍ය රීඩ් පෙන්වා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සෞඛ්‍ය ආධාර, අමෙරිකාවේ වාණිජ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා බලපෑම් කිරීමට (Leverage) යොදා ගන්නා බවයි. විශේෂයෙන් සැම්බියාව වැනි රටවලට ලබාදෙන HIV ආධාර රඳවා තබා ගනිමින්, එම රටවල් සමඟ අමෙරිකාවට වාසිදායක ඛනිජ සම්පත් ගනුදෙනු (Critical-minerals deal) සඳහා බලපෑම් කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි.
ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් වෙන් කළ යුතු මුදල් යුද සහ මිලිටරි අවශ්‍යතා සඳහා යොමු කිරීමට ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරණය වෛද්‍ය රීඩ්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. මෙවැනි ක්‍රියාමාර්ග හරහා දශක දෙකක් තිස්සේ අප්‍රිකානු රටවල පවත්වාගෙන ආ ජීවිතාරක්ෂක සෞඛ්‍ය වැඩසටහන් බරපතල අනතුරකට ලක්ව ඇති බව ඔහු පවසයි.
වෛද්‍ය රීඩ්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඔහුට පක්ෂග්‍රාහී නොවන විද්‍යාත්මක උපදෙස් ලබා දීමට නොහැකි බව පිළිගත් නිසා ධුරයෙන් ඉවත් වූ බවයි. පසුගිය වසරේ ජනාධිපති ට්‍රම්ප් විසින් අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) විසුරුවා හැරීමෙන් පසු මෙම සෞඛ්‍ය වැඩසටහන්වල ස්වභාවය බෙහෙවින් වෙනස් විය.
වෛද්‍ය මයික් රීඩ් වසර එකහමාරක පමණ කාලයක් මෙම තනතුරේ රැඳී සිටියේ පවතින අවදානම් සහගත තත්ත්වය යටතේ හෝ වැඩසටහන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වුවද, වත්මන් පරිපාලනයේ ක්‍රියාකලාපය හමුවේ එය තවදුරටත් කළ නොහැකි බව ඔහු අවධාරණය කර ඇත.














