පසුගිය වසරේ (2025) නොවැම්බර් මස ඇතිවූ ‘දිට්වා’ ආපදා තත්ත්වයත් සමඟ පේරාදෙණිය – මහනුවර දුම්රිය මාර්ගයේ පේරාදෙණිය කළු පාලමට සිදුවූ හානිය හේතුවෙන් දුම්රිය කිහිපයක් මාස පහක් තිස්සේ ධාවනය කිරීමට නොහැකිව පේරාදෙණිය සහ පැණිදෙණිය දුම්රිය ස්ථානවල සිරවී තිබේ.
අධික වර්ෂාවෙන් මහවැලි ජල කඳ උතුරා සිදුවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය කළු පාලමට දැඩි ලෙස හානි සිදුවිය. මේ වන විට පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇතත් එම කටයුතු අවසන් වන තෙක් ගාල් කර ඇති දුම්රිය මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත රැගෙන ඒමට නොහැකි බව දුම්රිය රියදුරු මහතුන්ගේ වෘත්තීය සමිතියේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. මේ හේතුවෙන් එම දුම්රියන් තවදුරටත් අතරමං වූ ස්වභාවයෙන් එම ස්ථානවලම පවතියි.














