2025 අගෝස්තු 12 වන දින සවස් කාලයේ මධුවිතකින් සප්පායම් වෙමින් සිටි පේරාදෙණියේ නාඹර වයසේ සිටි කොල්ලන් තිදෙනෙකි. මධුවිතෙන් පදමට ඇග රත්වන අවස්ථාවේදී මින් එක් අයෙකු තමන්ගේ කෙරුම්කාරකම් ගැන කයිවාරු ගසන්නට විය.
”අනේ පලයන් යන්න අපි නොදන්න උඹගෙ කෙරුම්කාරකම්” යනුවෙන් කියමින් සගයන් දෙදෙනා ඔහුව විහිළුවට ගත්හ.
”හරි උඹලා දැන් මට ඕන චැලේන්ජ් එකක් දීපල්ලා මම කරල පෙන්නන්නම්” ඔහු අභියෝගයකට දොරටු විවෘත කලේය.
”එහෙනම් උඹට පුළුවන්නම් සෙනේට් එක ලග නවත්තල තියෙන බස් එකක් උස්සල පෙන්නපන් ”සගයන් දෙදෙනා අභියෝගය ඉදිරිපත් කලේ එය කිසිවිටෙක කල නොහැක්කක් ලෙස සලකාය.
කොල්ලා අභියෝගය භාරගත්තේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරය එහි ප‍්‍රධානතම පරිපාලන සංකීර්ණය වන අතර විශ්වවිද්‍යාලයේ උපරිම ආරක්‍ෂාවක් සලසා ඇති ස්ථානය වන්නේද එම ස්ථානයයි.සීසීටීවී කැමරා පද්ධතියකින් සහ ආරක්‍ෂක නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් සමංවිත එම ස්ථානයට පිවිසිය හැක්කේ පැය 24 පුරා ක‍්‍රියාත්මක ආරක්‍ෂක මුර කපොල්ලක් පසුකිරීමෙන් පසුවය.වැඩි ආරක්‍ෂාව පතා විශ්වවිද්‍යාලයේ විවිධ දෙපාර්තමේන්තු සහ පීඨයන්ට අයත් බස් රථ සහ වෙනත් වාහන නවතා තැබෙන්නේ මෙම ස්ථානයේය.
රාත‍්‍රී 10 පසුවී විනාඩි කිහිපයක් ගතවුන තැන සනාථන මන්දිර පරිශ‍්‍රයේ නවතා තැබුන අංක 62-3617 දරණ ඞීමෝ වර්ගයේ බස් රථය අදුරේම පණගැන්විණි.එම අවස්ථාව වන විටත් බස් රථයේ යතුරු කැරැල්ල ආරක්‍ෂක කාර්යාලයේ අගුළු දමන ලද යතුරු රදවනයේ සුරක්‍ෂිතව තැන්පත් කර තිබුණි. සනාථන මන්දිර රථගාලෙන් සෙමෙන් මෑත්වුන බස් රථය ප‍්‍රධාන මුර කපොල්ල ආසන්නයට එන විට එහි සේවයේ නියුතුව සිටි ආරක්‍ෂක නිලධාරියා කිසිත් නොවිමසාම බැරියර් එක විවෘත කර දුන්නේ බස් රථයට පිටව යාමටය.
විශ්වවිද්‍යාලයෙන් පිටවුන බස් රථය පේරාදෙණිය නගරය දෙසට වේගයෙන් ධාවනය විය.
අශ්වයා පැන ගිය පස් ඉස්තාලය වසනවා මෙන් මුර කපොල්ලේ සේවයේ නියුතුව සිටි ආරක්‍ෂක නිලධාරියා බස් රථය පිටත්ව යාමෙන් පසුව ආරක්‍ෂක කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදී දී අදාල බස් රථයේ යතුර සුරක්‍ෂිතව තිබේදැයි විමසුවේය.
රාජකාරියේ නිරත ආරක්‍ෂක නිලධාරියා කියා ඇත්තේ යතුර සුරක්‍ෂිතව තිබෙන බවය.
නාදුනන පිරිසක් බස් රථය පැහැරගෙන ගොස් තිබෙන බවට ආන්දෝලනය ඇති වන්නේ ඉන් අනතුරුවය.
සිකියුරිටි කාරයන් බල්ලාට දමා ඔට්ටුවකට බස් රථය පැහැරගත් කජු කිරි කොල්ලන් තිදෙනා පැණිදෙණිය දක්වා ගොස් රවුමක් ගසා නැවත ගලහ හංදිය හරහා විශ්වවිද්‍යාලය තුලට පැමිණ සනාථන මන්දිරය ඉදිරිපිට රථාගාලේ බස්රථය නවතා තබා නිරුපද්‍රිතව පලා ගොස් ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් ගණනාවක් බලා සිටියදීමය.ඒ විශ්වවිද්‍යාල ආරක්‍ෂාවට කොචෝක් කරමිනි.
මේ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ කටයුතු ආරම්භ වන්නේම එදින රාජකාරියේ නිරතව සිටි ආරක්‍ෂක පරීක්‍ෂක බෙනට් ජයවර්ධන සහ ආරක්‍ෂක නියාමක දිසානායක යන දෙදෙනාගේ වැඩ තහනම් කරමිනි. පරිපාලනය විසින් එම පියවර ගනු ලබන්නේ මෙම බරපතල සිදුවීමට අදාලව ඔවුන්ගේ රාජකාරි පැහැර හැරීමක් ඇති බවට සලකමිනි.
එහෙත් එම අවස්ථාවේදී අදාල බස් රථයට පිටව යාමට බැරියර් එක විවෘත කරදුන් ආරක්‍ෂක නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමක් සිදුකිරීමට කිසිවෙකුට මතක් වන්නේ නැත.
ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාව ඈලියාවට ගියාවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ‍්‍රාමික විගණන නිලධාරී එච්.එම්. කරුණාතිලක මහතා පත් කර පරික්‍ෂණයක් ආරම්භ කර ඇත.
පසුගියදා භාරදී තිබෙන මෙම පරීක්‍ෂණ වාර්ථාව මගින් අදාල සිදුවීමට වගකිවයුත්තන් දෙදෙනෙකු නම්කර තිබේ.
පරීක්‍ෂණ නිලධාරියා නිර්දේශ කර ඇත්තේ ඒ වන විටත් වැඩ තහනමට ලක් කොට තිබුන ආරක්‍ෂක පරීක්‍ෂක බෙනට් ජයවර්ධන සහ බැරියරය හැර බස් රථයට පිටව යාමට ඉඩ සලසා දුන් ආරක්‍ෂක නියාමක ආර්.බී.හෙට්ටිගේ සිදුවීමට වගකිව යුතු වන බවය.
එසේම සිද්ධියට අදාලව ඒ වන විටත් වැඩ තහනමට ලක් කොට තිබුන ආරක්‍ෂක නියාමක දිසානායක සිදුවීමට වගකිවයුතු නොවන බව පරීක්‍ෂණ වාර්ථාවේ සදහන්ය.
මෙම කථාවේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ මුණුපුරන් කරළියට එන්නේ ඉන් අනතුරුවය.
සිදුවීමට අදාලව 2025 අගෝස්තු මාසයේදීම වැඩ තහනමට ලක් කල ආරක්‍ෂක පරීක්‍ෂක බෙනට් ජයවර්ධන වසරකට ආසන්න කාලයක් තවමත් සිටින්නේ වැඩ තහනම් කරය.
ජයවර්ධන සමගම වැඩ තහනමට ලක් කල දිසානායක නැමැති ආරක්‍ෂක නිලධාරියා පරීක්‍ෂණ වාර්ථාවෙන් නිදොස් කොට ඇති නිසා නැවත සේවයේ පිහිටුවීමටත් පේරාදෙණි පාලකයන් කටයුතු කර ඇත. එය යුක්තිසහගතය.
එහෙත් විමර්ශන වාර්ථාවෙන් සිද්ධියට වගකිවයුතු වන බවට නම්කොට ඇති සහ මෙම සිදුවීම ඇතිවීමට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන බව පෙනෙන ආර්.බී.හෙට්ටිගේ නැමැති ආරක්‍ෂක නිලධාරියා සම්බන්ධයෙන් කිසිම පියවරක් ගැනීමට පේරාදෙණිය පාලකයන්ට අමතකව තිබෙන්නේ පුදුම සහගත ලෙසය.
කැකිල්ලේ නීතියේ හැටි එහෙමය.විමර්ශන වාර්ථාවෙන් වගකිවයුතු පුද්ගලයන් ලෙස නම්කල දෙදෙනාගෙන් එකෙකු වසරකට ආසන්න කාලයක් වැඩ තහනමේය.අනෙකා පඩි සහිතව ආරක්‍ෂක රාජකාරීවල නිරතව සිටී.පේරාදෙණියේ නීති අපූරුය.
මෙහි තවත් අතුරු කථාවක් තිබේ.මෙම කවටකම සිදුකර තිබෙන පුද්ගලයන් සති කිහිිපයක් තුල හෙලිදරව් කර ගන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන විනයාරක්‍ෂක නිලධාරී ඩබ්.ඒ.ඒ.වේරහැර ප‍්‍රමුඛ විනයාරක්‍ෂක නිලධාරීන් සමත්ව තිබේ.එහි ගෞරවය කැකිල්ලේ මුණුපුරන්ට නොව විනයාරක්‍ෂකයන්ට යා යුතුය.
















