පේරාදෙණිය විශ්වවිද්‍යාලය ”වෙබොමෙට්‍රික්ස්” (Webometrics) ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර 04 වන ස්ථානය දක්වා පහත බැසීම සම්බන්ධයෙන් එහි පැරණි සාමාජිකයන් දැඩි අසතුට පළ කරන අතර, වත්මන් පාලකයන්ගේ නොසැලකිල්ල සහ අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් සිය කලකිරීම ප්‍රකාශ කර සිටිති.
මීට වසර කිහිපයකට පෙර බොහෝ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ දෙවැනි ස්ථානය අත්කරගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 2019 වර්ෂයේදී ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය අත්පත් කරගැනීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ආරම්භ කළේය. එවකට උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතාගේ සහ ලේඛකාධිකාරී සමන් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම මෙහෙයුම දියත් විය. එම මෙහෙයුම් කණ්ඩායමට නියෝජ්‍ය මූල්‍යාධිකාරීවරුන් වන ජයලාල් පොන්නම්පෙරුම, සමන් ජයකොඩි සහ සංඛ්‍යාලේඛන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී කාංචනා අතපත්තු ඇතුළු පිරිසක් ඇතුළත් වූහ.
නිතර රැස්වෙමින් සැලසුම්සහගතව කටයුතු කළ මෙම කණ්ඩායමේ කැපවීම හමුවේ, 2020 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පළමු ස්ථානයට ගෙන ඒමට හැකිවූ අතර, එය විශ්වවිද්‍යාල ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, එම මෙහෙයුමේ නියමුවා වූ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා 2021 වසරේදී ධූර කාලය නිමා කර නික්ම යාමත් සමග මෙම සාර්ථක ගමන අඩාල වීමට පටන් ගත්තේය. එම කාලසීමාවේදීම ලේඛකාධිකාරී සමන් රාජපක්ෂ මහතා නීතියට පටහැනිව විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමටත්, විවිධ චෝදනා නගමින් නියෝජ්‍ය මූල්‍යාධිකාරීවරුන් වන ජයලාල් පොන්නම්පෙරුම සහ සමන් ජයකොඩිගේ වැඩ තහනම් කිරීමටත් පාලනාධිකාරිය කටයුතු කිරීම නිසා අදාළ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩා වැටුණි.
එතෙක් මෙරට විශ්වවිද්‍යාල අතර පළමු ස්ථානයේ වැජබෙමින් ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට, ඉන් වසර කිහිපයක් යෑමට මත්තෙන්, එතෙක් හතරවන ස්ථානයේ රැඳී සිටි රුහුණු විශ්වවිද්‍යාලයට පවා පසුපසින් සිටීමට මෙවර සිදුව තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය ඉතිහාසයේ කවරදාකවත් මෙරට විශ්වවිද්‍යාල අතර හතරවන ස්ථානය දක්වා පසුබැස නොමැති අතර, මෙය බරපතළ පරිපාලනමය බිඳවැටීමක් පෙන්නුම් කරන්නකි.
මහාචාර්ය කරුණාරත්නගෙන් පසුව එකී තනතුරට පත්වූ නිලධාරීන් විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීම්හි ඉහළට ඔසවා තැබීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කරනවා වෙනුවට, එම ජයග්‍රහණයට මුල්වූ පුද්ගලයන්ගෙන් පළිගැනීම සඳහා පසුපස එළවීමේ කටයුතුවල නිරත වීම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මෙවැනි කණගාටුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.














